Tuesday, September 24, 2024

කොවිඩ් මරණවල සැබෑ හේතුව හෙළි වෙයි

කොවිඩ් වයිරසයෙන් පසු මියයන පුද්ගලයින් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබේ.

වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන වයස අවුරුදු 30 ට අඩු සියලුම දෙනා මියයෑමට ප්‍රධානතම හේතුව කොවිඩ් වැළඳීමම නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

වයිරසය ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු ජීවිතක්ෂයට පත් වූ බොහෝ දෙනෙකුට කුඩා කළ සිට වැළඳුණු සහ ඒ සඳහා ප්‍රතිකාර ද ලබා ගන්නා නිදන්ගත රෝග තත්ත්වයන් පැවතීම එයට හේතුව බව හෙළි වී තිබෙන බව ඔහු පැවසීය.

විශේෂයෙන්ම එම රෝගීන් හට වකුගඩු රෝග, ස්නායු සම්බන්ධ අපස්මාර තත්ත්වයන් ද පැවතීම මෙම මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙසට විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් වෛරසය වැළඳීමෙන් පසුව නිදන්ගත රෝගී තත්ත්වයන්වල සංකූලතා ඇති වී මෙම පුද්ගලයින් මියයන බවට මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙවන් පසුබිමක් තවදුරටත් ඇතිවීම වළක්වාලීම වෙනුවෙන් ලබා නොගත් පූර්ණ එන්නත්කරණ ක්‍රියාවලියට වහාම යොමු වන ලෙසටත්, එය වගකීම්සහගත පුරවැසියෙකු සතු යුතුකමක් මෙන්ම සමාජ වගකීමක් බවත් හේමන්ත හේරත් විසින් ප්‍රකාශ කළා.

මෙි අතර බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා පෙරට වඩා දැන් ජනතාව ඉදිරිපත් වන බවත් මේ වන විට ලක්ෂ 64 ඉක්මවා බූස්ටර් එන්නත ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

දිනකට 20,000 ඉක්මවූ පුද්ගලයින් ගණනක් බූස්ටර් එන්නත ලබාගන්නා බවත් සමහර දිනවල මෙම ගණන 40,000 ඉක්මවන අතර ඇතැම් දිනවල ලක්ෂයකට ආසන්න පිරිසක් බූස්ටර් එන්නත ලබාගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වයස අවුරුදු 05 ට වැඩි ළමයින්ට එන්නත්කරණය ඇරඹීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බවත් ඊට චක්‍රලේඛ නිකුත් කර නැතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එන්නත්කරණය යම් සාධනීය මට්ටමකට පැමිණියහොත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය නීති තවදුරටත් ලිහිල් කළ හැකි බව කියා සිටි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, විදෙස්ගත වීමේදී ඇතැම් රටවල් ෆයිසර් එන්නත් මාත්‍රා 02 ක් ඉල්ලන බවත්, එවැනි පුද්ගලයන් සඳහා අවශ්‍ය ලිපි ලේඛණ ඉදිරිපත් කළහොත් ෆයිසර් එන්නතෙහි දෙවනි මාත්‍රාවක්ද ලබාදිය හැකි බව වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles