Tuesday, September 24, 2024

පුනර්ජනනීය බලශක්තිය රටට ළඟා කරදීමට රජය කටයුතු කරනවා

හැකිතාක් ඉක්මනින් පුනර්ජනනීය බලශක්තිය රටට ළඟා කරදීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සුළං බලය, සූර්යය බල ශක්තිය ඇතුළු අනෙකුත් අංශ වලින් ලබාගත හැකි උපරිම දායකත්වය මෙම වසර තුළ ලබාගැනීමටත්, කෙටි කාලීනව හැකි උපරිමයෙන් අවම වශයෙන් මෙගා වොට් 100 ක ප්‍රමාණයක්වත් ඉදිරි මාස කිහිපය තුළදී සමස්ත ධාරිතාවයට එකතු කරගැනීමටත් යෝජනා කර ඇතැයිද එම කටයුතු සාර්ථක කරගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

රටේ වාර්ෂික විදුලි අවශ්‍යතාවයන් 10%කට වැඩි ප්‍රමාණයක් වැඩි වන බවද, 2015 සිට 2019 දක්වා හෝ මේ දක්වා අලුතෙන් ජනනය කිරීමක් හෝ වැඩිපුර බලාගාර ඉදිකිරීමක් සිදුව නැතැයිද එම නිසා මෙම අර්බුදය තීව්‍ර වී ඇතැයිද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

2020 සහ 2021 වසර වල පැවති කොරෝනා තත්ත්වය හේතුවෙන් විදුලි පරිභෝජනය යම් මට්ටමකට අඩුවී පැවති බවද, නමුත් මේ වන විට විශාල නිෂ්පාදනයක් සමග අවශ්‍යතාවය වැඩිවී ඇතැයිද එම නිසා මෙම අර්බුදය මතුවී වැසි නොමැති වීමත් නියඟ කාලගුණ තත්ත්වයත් හේතුවෙන් මෙම අර්බුදය දෙගුණ තෙගුණ වී ඇතැයිද පැවසීය.

රජය පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවද, ඒ සම්බන්ධව රජය ප්‍රතිපත්ති තීරණ රැසක් ගෙන ඇතැයිද ජනාධිපතිතුමා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ගොස් විශේෂ විමර්ශනයක් සිදුකළ බවද කීය.

මෙම ප්‍රතිපත්ති තීරණ ඉදිරියට ගමන් කිරීම පිළිබඳ කාරණයේදී රජය විශාල අර්බුද ගණනාවකට මුහුණදී ඇතැයිද, රජය කුමන ප්‍රතිපත්තිමය තීන්දු ගත්තද ආයෝජන ලංකාවට පැමිණ තිබුණද, මෙවැනි ව්‍යාපෘති රාශියක් දැනටමත් රජය සතුව පැවතියද මධ්‍යම පද්ධතියට ගැනීමට අපහසු බව ආදී ඉදිරියට ගෙනයාමට නොහැකි කරුණු රාශියක් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරු ඇතුළු පිරිස නිරන්තරයෙන් පවසන බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

මේ හා සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් මෙන්ම වෙනත් බාධා කිරීම් රාශියක් ඇතැයි පෙනීයන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles