Friday, September 20, 2024

යුක්‍රේනයට මිසයිල ප්‍රහාර එල්ල කරමින් රුසියානු ජනපති පූර්ණ මට්ටමේ ආක්‍රමණයක් ප්‍රකාශයට පත් කරයි !

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් පූර්ණ වශයෙන් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කර ඇති බව යුක්රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ යුක්රේනයෙ සාමකාමී නගර වල මේ වන විට පිපිරීම් වාර්තා වන බවයි.

‘පුටින් යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කර ඇත. සාමකාමී යුක්රේන නගර වල පිපිරීම් ඇතිවෙනවා. මේක ආක්‍රමණික යුද්ධයක්. යුක්රේනය තමන්ව ආරක්ෂා කර ජය ගනු ඇත. ලෝකයට පුටින් නැවැත්විය හැකි අතර කළ යුතුය. දැන් ක්‍රියා කිරීමට කාලයයි.’ යැයි යුක්රේන විදේශ අමාත්‍යවරයා පවසයි.

ඒ සමඟම උතුරින් බෙලරූස් රාජ්‍ය දෙසින්ද, දකුණින් ක්‍රයිමියාව දෙසින්ද, නැගෙනහිරින් රුසියාව දෙසින් ද රුසියානු හමුදාව යුක්‍රේනයට ඇතුළු වී තිබෙනවා. මේ වන විට යුක්‍රේනයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර මිසයිල ප්‍රහාරද දියත් වෙමින් ඇති අතර යුක්‍රේන ප්‍රති ප්‍රහාරවලින් රුසියානු යානා 6ක් මේ වන විට විනාශ වී තිබෙනවා.

ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් දහස් ගණනින් අගනුවර හැර යමින් සිටින අතර යුක්‍රේනය පුරා හමුදා නීතිය බලාත්මක කර තිබෙනවා.එසේම මේ වන විට මුදල් ලබාගැනීමේ යන්ත්‍ර අසළ ජනතාව පොලිම් ගැසී සිටින බවද එම මාධ්‍ය පවසයි.

රුසියානු හමුදා වාහන උතුරේ බෙලාරුස් සහ දකුණේ ක්‍රිමියාව ඇතුළු ස්ථාන කිහිපයකින් රට තුළට පැමිණ ඇති බව යුක්රේනය පවසයි.

යුක්රේනයේ දේශසීමා සේවයට අනුව, රුසියාව හමුදා වාහන රට තුළට පැමිණීමට පෙර කාලතුවක්කු ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාරය සෑම පැත්තකින්ම එන බව මෙතෙක් ලැබී ඇති සාක්ෂිවලින් පෙනී යයි.

රුසියානු හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගිය බව යුක්රේන පොලීසිය පවසයි.

ඔඩෙස්සා නගරයෙන් පිටත Podilsk හි හමුදා ඒකකයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලැබූ බව නිලධාරීහු පවසති.

එසේම පුද්ගලයන් 19 දෙනෙකු ද අතුරුදන්ව ඇත.

මරියුපෝල් නගරයේ එක් පුද්ගලයෙක් මිය ගිය බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

රුසියානු ගුවන් යානා පහක් සහ හෙලිකොප්ටරයක් බිම හෙළු බව යුක්රේන සන්නද්ධ හමුදා පවසයි.

“සන්සුන්ව සිටින්න යුක්රේන ආරක්ෂකයින් විශ්වාස කරන්න”, යුක්රේන හමුදා ප්‍රකාශයක් නිකුත් කරමින් සිය ජනතාවට පවසා ඇත.

තම ගුවන් යානා වෙඩි තබා බිම හෙලූ බවට යුක්රේනය පවසන ප්‍රකාශ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.

බෙලරුස්හි හමුදාද රුසියානු ප්‍රහාරයට එක්වන බව යුක්‍රේන නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා ප්‍රකාශ කරයි, එයින් අදහස් කරන්නේ ප්‍රහාරය දැන් යුක්රේනයේ උතුරින් ද පැමිණෙමින් පවතින බවයි.

යුක්රේනයේ උතුරු මායිමේ පිහිටා ඇති බෙලරුසියාව දිගු කලක් රුසියාව සමඟ මිත්‍ර රටකි. විශ්ලේෂකයින් බෙලරුසියාව හඳුවන්නේ රුසියාවේ “සේවාදායක රාජ්‍යය” ලෙසයි.

මේ අනුව යුකරේනයට උතුරින්, නැගෙනහිරින් මෙන්ම දකුණෙන් රුසියාව තම ප්‍රහාරය ආරම්භ කර තිබේ.

මේ අතර බී.බී.සී. යුක්රේන වාර්තා කරු පැවැසුවේ කිව් අගනුවරද පිපිරීම් හතරක් හෝ පහක් වාර්තා වූ බවයි.

මේ අතර රුසියාව මිසයිල ප්‍රහාර ආරම්භ කර ඇති බව යුක්රේන ජනපතිවරයා තහවුරු කර තිබේ. යුක්රේන යටිතල පහසුකම් වෙත හා දේශසීමා ආරක්ෂකයින් වෙත මෙසේ මිසයිල ප්‍රහාර ආරම්භ කර ඇති බව යුක්රේන ජනපති සෙලන්ස්කි පවසයි.

එසේම යුක්රේන ජනපතිවරයා යුක්රේනය තුළ හමුදා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක කවුන්සිලයට උපදෙස් දී තිබේ. ඒ අනුව කවුන්සිලය ඉතාමත් ඉක්මනින් රැස්වී මේ පිළිබඳව තීරණය කිරිමට නියමිතය.

මේ වනවිටත් රුසියානු හමුදා යුක්‍රේනයේ නගර කිහිපයක් වෙත ළගාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙි අතර රුසියානු ප්‍රහාරයෙන් සොල්දාදුවන් සිය ගණනක් මිය ගොස් ඇති බව යුක්රේන රජය වාර්තා කරයි.

රුසියාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බව යුක්රේන හමුදාව පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles