ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමේ

0
567

රජයේ ඉඩම්වල පදිංචි ගොවි ජනතාවගේ දූ පුතුන්ට දිරියෙන් කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට ඉඩදීමේ අරමුණින් සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂයක් මේ වසර නිමවීමට ප්‍රථම ලබාදෙන බව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතා ප්‍රකාශ කරයි.

සින්නක්කර ඉඩම් නොමැතිව බැංකු ණයක් හෝ වෙනත් නීතිමය ආධාරයක් ලබා ගත නොහැකිව වසර ගණනාවක් ගොවි දු පුතුන් විඳි දුක මේ මඟින් නිමාවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මෙලෙස ඉඩම් ඔප්පු ලබාදීමට රජය කටයුතු කරන බවත්, මුදල් ඇමැති රවි කරුණානායක මහතා මේ බව 2016 අය- වැයේ දී ඉදිරිපත් කළ බවත් ආචාර්ය මහානාම මහතා කීය.

මෙරට ගොවි ජනතාවගේ තුන්වැනි පරම්පරාවේ ගොවි දු පුතුන්ට තමන් කැමති කෘෂිකාර්මික කටයුත්තක යෙදීමට මෙතෙක් තිබූ බාධාව මින් මඟ හැරේ. අලුතින් ඉඩම් ලක්ෂයක සින්නක්කර ඔප්පු ලැබීම නිසා ඔවුන්ට ව්‍යාපාරික කෘෂිකාර්මික කටයුත්තක යොමුවීමට ද ඉඩ ලැබේ.

මෙලෙස ඉඩම් ඔප්පු ලබාදීමට අමතරව සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් මිදී වාණිජ නැතිනම් යැපුම් කෘෂිකර්මාන්තයට ගොවි දූ පුතුන් යොමු කිරීමට ඉවහල්වන අය- වැය යෝජනා රැසක් බලාත්මකවීමට මේ වැඩපිළිවෙළ හේතුවන බව ද ලේකම්වරයා කියා සිටියේය.

නව ලොව තාක්ෂණය අපනයන වෙළෙඳපොළ ඉලක්ක කළ කෘෂිකර්මාන්තයක් අගය එකතු කළ හෝ මනාව සැකසුම් කළ ව්‍යාපාරික කෘෂිකර්මාන්තයකට ගමන් නොකොට, කෘෂි අංශයෙන් වඩා දියුණු ආදායම් උත්පාදනයක් ළඟා කර ගත නොහැකියි. මේ තත්ත්වය තේරුම් ගත් රජය ගොවි ජනතාවට වඩා ඉහළ ආදායම් උත්පාදන මඟකට යොමු කිරීමට දිරිගන්වන යෝජනා අය වැයෙන් යෝජනා කොට ක්‍රියාවට නංවනු ඇතැයි ද ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here