Friday, September 20, 2024

ඩොලර් හිඟය මැද ඇපල්,දොඩම් කාලා කළුවරේ ඉන්නවා ද?

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පැනවීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඊළඟ ඉන්ධන නැව මෙරටට පැමිණෙන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ඒ හේතුවෙන් විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනවා ද? යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත යුතු බව අමාත්‍යවරයා පැවසීය.

අඛණ්ඩව ඩොලර් දෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කළ හැකි බව බලශක්ති අමාත්‍ය පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මම ද ඇමතිවරයෙකු වන ආණ්ඩුව දැන් කළ යුත්තේ, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඇපල්,දොඩම් කාලා කළුවරේ ඉන්නවා ද? මිදි,තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවා. පිටරටින් වතුර ගෙනැල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවා ද? නැත්නම් ඒවාට කැප කිරීම කරලා, අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතාව දෙනවා ද කියන ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතු ම යි.

ඒ නොගැනීම නිසා තමයි, ඇපල්, මිදි ඇත. තෙල් ටික නැත. පිටරින් ගේන මීපැණි ඇත. ඒත් ඖෂධ නැත. මේ මොහොතේ ත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලාගෙන සිටි යි. නැත්තේ ඩොලර් ය. අපි සතු තොග පහත බැහැලා තියෙනවා. ඒ නිසා ඊළඟ නැව එනතුරු අපිට සීමිත තොගයක් තමයි වෙළෙඳපොළට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ.

එහි අවසාන ප්‍රතිඵලය තමයි ඉන්ධන පිරවුම්හල්වලටත් සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණයක් විතරක් සෑම කෙනෙකුට ම ලබා දෙන්න. මේ දුෂ්කර මොහොතේ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරීමක් සහිතව ඉන්ධන නිකුත් කරන්නේ.”

ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල දී ගැනීම සඳහා අඛණ්ඩව ඩොලර් සැපයීමට මුදල් අමාත්‍යංශය සහතික වුව ද එය තවමත් ක්‍රියාත්මක වී නැතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles