Friday, September 20, 2024

ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් වලටත් ඩීසල් දෙනවා

මේ වනවිට රට තුළ ඉන්ධන හිඟය දරුණු තත්වයකට පත්ව ඇති අතර මගී ප්‍රවාහන කාර්යයන් අඩාල වී ගොස් තිබේ.

මේ නිසාවෙන් පෞද්ගලික බස් රථ ගණනාවක් තම ගමන් වාර නවතා දමා ඇති අතර ධාවනය වන්නේ කාර්යාල වේලාවන් තුළ පමණි.

කෙසේ නමුත් පොදු ප්‍රවාහන සේවයේ යෙදන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ලබා දීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පැවසීය.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන ලෙසට සියලූම ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනූව ඒ සම්බන්ධයෙන් සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මේ වන විට උපදෙස් ලබාදී ඇති බව ඔහු සදහන් කළේය.

එම නිසවෙන් ඉදිරි දින දෙක තුන තුළ පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් ද ලැබී තිබෙන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟද ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට මතුව ඇති ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට එල්ල වී ඇති බාධා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ලංගම බස් රථ සඳහා දිනකට ඩීසල් ලීටර ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය අතර පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් පන්ලක්ෂ තිස් එක්දහසක් පමණ අවශ්‍ය වන බව ද අමුණුගම මහතා කියා සිටියි.

මෙි අතර ඉදිරියේදී සිපෙට්කෝ ඉන්ධන මිලෙහි යම් වෙනසක් සිදුවුනත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවද ප්‍රවාහන අමුණුගම මහතා පවසනවා.

කෙසේ නමුත් ඉන්ධන මිලෙහි අසාමාන්‍ය ඉහළ දැමීමක් සිදුවුවහොත් බස් ගාස්තු සශෝධනයක් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර පෞද්ගලික බස් රථ සියයට 70ක් පමණ ධාවනයෙන් ඉවත්වී ඇති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවද දිලුම් අමුණුගම මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ප්‍රමාණවත් පරිදි ඩීසල් ලංගම ඩිපෝ හරහා හෝ නොලැබුනහොත් බස් ධාවනයට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනයට නොහැකි තත්වයක් උද්ගතව ඇත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර, ඩීසල් රැගත් නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම තවත් දින දෙකකින් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊයේ එම නෞකාවන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණත් ඉන්ධන භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමාදයක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ඩීසල් හිඟය එහි බලපෑමට ලක්ව ඇති අතර බොහෝ ක්ෂේත්‍රවලට බලපා ඇත.

ඉන්ධන ලබාගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles