Sunday, September 22, 2024

මහ බැංකුවට ඩොලර් මවන්න බෑ

මෙය අන්තිමට පැමිණ තිබෙන තෙල් නැව්වලට ඩොලර් ගෙවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවත් මේ ප‍්‍රශ්නය විසඳීමට අදාළ යෝජනා මාස හයක් පමණ තිස්සේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කර තිබෙන බවත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩි කබ්රල් මහතා ඊයේ දිවයින පුවත්පතට පවසා ඇත.

මහ බැංකුව රජයට ඉදිරිපත් කර තිබෙන එම යෝජනා කි‍්‍රයාත්මක කිරීමෙන් රටට නව විදේශ විනිමය ගලාඒම් ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ පවතින විදේශ විනිමය සම්පත් ආරක්ෂා කර ගැනීමට හේතු වන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

‘‘මේ ප‍්‍රශ්නය තෙල් නැවකට ඩොලර් ගෙවීම ගැන ප‍්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දිගටම තිබෙන ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නයට උත්තර හොයන්න ඕන තෙල් නැවකින් නොවෙයි. ඒකට අපි උත්තරයක් හොයා ගන්න ඕන. මේක ගැඹුරු ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නෙ ගැන අපි මාස හයක් තිස්සේ රජයට දැනුම් දීලා තියෙනවා අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කියලා. ඒ නිසා අන්තිමට එන තෙල් නැව ගැන කතා කිරීමෙන් පලක් නෑ’’ යැයි ද මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ අමාරු කාලයේ ඩොලර් අවශ්‍ය නම් ඩොලර් උත්පාදනය වන පරිදි කටයුතු කළ යුතු බවත් ඒ එකක්වත් කරන්නෙ නැතුව ඩොලර් මැවෙන්නේ නැති බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

‘‘දැන් මාස හයක ඉඳලා තෙල් මිල වැඩි කරන්න කියලා රජයට කියලා තියෙනවා. තෙල් මිල වැඩි කළොත් අඩු තරමින් තෙල් භාවිතය අඩු වෙනවා. එවිට තෙල්වලට ගෙවන්න ඕන ඩොලර් වියදම අඩු වෙනවා. ඒවා කරන්න ඕන’’ යැයි ද මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.

ලේසියට සියලූ දෙනාම බැංකුවලට ගොස් ඩොලර් ඉල්ලා වැඩ කිරීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ 700 කට පමණ රජය මගින් ඉහළ තීරුබදු පැනවීම, ඉන්ධන මිල වැඩි කිරීම, විදේශ විනිමය පේ‍්‍රෂණය කිරීම හරහා වාහන ආනයනයට අවසර දීම සහ එම වාහන සඳහා රජයට ගෙවන බදු විශේෂිත විදේශ විනිමය පේ‍්‍රෂණ මගින් ගෙවීම අනිවාර්ය කිරීම, සුර්ය හා සුළං බලක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම, විදේශ විනිමය හරහා නව ඉතුරුම් රට තුළට ආකර්ෂණය කර ගැනීමට නව අර්ථසාධක අරමුදල් යෝජනා ක‍්‍රමයක් ඇති කිරීම හා ඒ සඳහා විශේෂ දිරිගැන්වීම් හඳුන්වාදීම, උපායමාර්ගික වශයෙන් වැදගත් නොවන සහ අඩුවෙන් භාවිතා කරන ලද ඇතැම් රාජ්‍ය වත්කම් මූල්‍යකරණය කිරීම සහ කාර්යාල සඳහා ස්වෙච්ඡා නම්‍යශීලී වැඩ කරන වේලාවල් හඳුන්වාදීම සහ නිවසේ සිට වැඩ කිරීමේ පියවර පිළිබඳ නව යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීම යන ප‍්‍රධාන යෝජනා හතක් (07) ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් දැනටමත් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles