ශ්‍රී ලංකාවට නැවත ණය හෝ ආධාර නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බවට තොරතුරු වාර්තා වේ.
දැනට මෙරටට පැමිණ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් කණ්ඩායමක් හමුවූ අවස්ථාවේ මේ බව දැනුම්දී ඇත.
මෙසේ චීනය ණය හෝ ආධාර නොදීමට යාම ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගෙන කෙරෙන බව ද එම රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහන් කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටලුව එක් ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇති අතර, චීනයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ආපසු හරවා යැවූ පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව දෙවන කරුණ ලෙස සඳහන් කර තිබේ.
මේ වනවිට චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 16ක් පමණ ණය දී ඇත. චීනයෙන් ශ්‍රී ලංකාවට දුන් මුදල් යොදවා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා නැතැයි ද, ලබාගෙන තිබුණු ණය මුදල් ගෙවීම පමණක් කර ඇති බව ද එම රාජ්‍යතාන්ත්‍රික පිරිස පෙන්වා දී ඇත.
ඉදිරියේදී මෙම තත්ත්වය යටතේ ඉන්දියාවෙන් පොලියට ණය ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ද එම පිරිස අවධාරණය කර ඇත.
මෙි අතර දිගු කාලීනව තම ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ග සිතියමක් සහ උතුරු හා නැගෙනහිර ක්‍රියාත්මක කිරීම සඳහා සිය ආර්ථික සහ උපායමාර්ගික ඉල්ලීම් ලැයිස්තුවක් ඉන්දියාව විසින් ඉල්ලා ඇති අතර එතෙක් තම රජයෙන් ලබා දීමට නියමිතව තිබූ ඩොලර් බිලියනයක හදිසි ණය මුදල කල් දැමීමට ඉන්දියාවද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා හදිසි ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සඳහා තවත් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා ගැනීමෙන් පසු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය දෙවරක් අවලංගු කර එය නැවත කාලසටහන්ගත කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
ඒ අනුව අදාළ ණය මුදල ලබා දීමට නම් රටේ විදේශ විනිමය සහ ණය ආපසු ගෙවීමේ අර්බුදයෙන් දිගුකාලීනව ගොඩ ඒම ඉලක්ක කරගත් ආර්ථික ක්‍රියාකාරී සැලැස්ම සහ ආර්ථිකය යළි ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් ලැයිස්තුවක් ඉල්ලා සිටීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම නැගෙනහිර ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඉන්දියාවේ මූලෝපායික අවශ්‍යතා ශක්තිමත් කරන සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් රැසක් ඉන්දීය ඉල්ලීම්වලට ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඩෝනියර් නිරීක්ෂණ ගුවන් යානා, ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් අලුත්වැඩියා කිරීමේ තටාකයක් සහ එක්සත් ජනපද නාවික හමුදාවේ මුලපිරීමක් වන බහරේනයේ බුද්ධි තොරතුරු බෙදාගැනීමේ කාර්යාලයට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු ස්ථානගත කිරීම ඊට ඇතුළත් ය.
එමෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ කලාපයේ වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත මුහුදු ගමන් සහතික කිරීමද ඊට ඇතුළත්ව ඇත.
ත්‍රිකුණාමලය අසල සාම්පූර් සහ ඒ අවට ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති (සූර්‍ය බලශක්ති) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඉන්දීය රජයේ ප්‍රධාන යෝජනාවකී. ශ්‍රී ලංකාව සිය අනාගත බලශක්ති ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ගල් අඟුරු බලාගාරවලින් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ ජපානය සමඟ ඒකාබද්ධ හවුල්කාරිත්වයෙන් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියාව කලින් සැලසුම් කර තිබුණි.
පලෙයි ගුවන් තොටුපළ වාණිජ මෙහෙයුම් සඳහා නැවත විවෘත කිරීම සහ යාපනය අර්ධද්වීපයේ සංස්කෘතික ව්‍යාපෘති කිහිපයක් ද දැනටමත් ප්‍රසිද්ධ කර ඇති ලැයිස්තුවේ අයිතම අතර වේ.
ඒ අනුව ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියනයක ණය මුදල ලබා දීමට නම් මෙම යෝජනා සම්බන්ධයෙන් ලංකා රජයෙන් කොළ එළියක් ලැබෙන තුරු අත්හිටුවා ඇති බව වාර්තා වේ.