Monday, September 23, 2024

ආණ්ඩුව ඩොලර් බිලියන 4ක් විනාශ කරලා. මහ බැංකුව IMF යන්න තවම සූදානමක් නෑ

මහ බැංකුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සූදානමක් නොමැති බවට මහ බැංකු අධිපති හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෙනුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පවත්වා ඇති අතර ඒ සඳහා සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, හරෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරු එක්ව තිබේ.

මෙම සාකච්ඡාවේදී ආනයන සඳහා ගෙවීම් කිරීම, විදේශ ණය, විනිමය අනුපාත, උද්ධමනය, මූල්‍ය යාන්ත්‍රණයේ ස්ථායිතාවය වැනි කරුණු පිළිබඳව අවධානය යොමුකළ බව හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලුවක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව සිතන බවත් ඔහු පැවැසීය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාස 6කට ආසන්න කාලයක් ඩොලරයක අගයක රුපියල් 200ක අගය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව විනිමය වෙළඳපොළට ඩොලර් බිලියන 1.5ක් පමණ යොමුකර ඇති බවයි.

“මේක බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ වචන වලින්ම කියනවානම් ඩොලර් බිලියන 1.5ක් පිච්චුවා” යැයි ඔහු පැවැසීය.

එසේම රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම හේතුවෙන් ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 2.5ක් පමණ අහිමි වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අනුව ආණ්ඩුව විසින් විනාශ කළ අගය ඩොලර් බිලියන 4ක් පමණ වන බවද ඔහු සඳහන් කළේය.

රැපියල පා කර හැරීමත් සමග මහ බැංකුව බලාපොරොත්තු වන ආකාරයට එය රුපියල් 230ක අගයේ නොපවතින බවත් ඔහු පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles