Sunday, September 22, 2024

වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළදසැල් වැටලීම අරඹයි…

රජය මගින් පාලන මිලක් නියම කොට ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට විකුණන වෙළඳසැල් හා වෙළඳුන් ඇල්ලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වන විට දිවයින පුරා හදිසි වැටලීම් ආරම්භ කොට ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්උද්දීන් මහතා පවසයි.

තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක උපරිම සිල්ලර මිල පමණක් බවත්, පාලන මිලට වැඩියෙන් ඒවා විකුණන වෙළඳසැල් හා ස්ථාන වටලා එම වෙළඳුන්ට හා ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ඇමතිවරයා කීය.

වැට් බද්දට මුවා වී ඇතැම් වෙළඳුන් වැට් බද්දට අයත් නොවන භාණ්ඩ පවා වැඩි මිල ගණන්වලට විකිණිම නිසා මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පාලන මිලක් නියම කිරීමට සිදු විය. එහිදී ජීවන වියදම් කමිටුව විසින් භාණ්ඩ ආනයනයට වැයවන මුදල හා ව්‍යාපාරිකයින්ගේ ලාභය පවා සැලකිල්ලට ගනු ලැබීය.

නියම කර ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිලක් වන අතර තරගකාරිත්වය යටතේ එයට වඩා අඩු මිලකට භාණ්ඩ අලෙවි කළ හැකි බවද ඇමතිවරයා පැවසීය.

මේ අතර පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් හා ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් 200 ක් යොදවා ඇතැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා පවසයි.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කොට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් යොදවා තිබේ. භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන ස්ථාන පිළිබඳව පැමිණිළි ලැබුණු වහාම ඔවුන් එම ස්ථාන වැටලීමට කටයුතු කරන බවද අරන්දර මහතා කීය. මෙයට අමතරව අධිකාරියේ ප්‍රධාන කාර්යාලය මගින්ද වැටලීම් සිදු කරනු ලැබේ.

පාලන මිලට වැඩියෙන් භාණ්ඩ විකුණන වෙළඳසැල් හෝ පුද්ගලයින් පිළිබඳව අංක 1977 දරණ දුරකථන අංකයට ඕනෑම දූරකතනයකින් දැනුම් දී පැමිණිළි කිරීමට හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වැටලීම්වලට යන නිලධාරීන් ගමන් ගන්නා වාහනවල ජී.පී.එස්. (G.P.S.) තාක්ෂණික උපකරණ සවි කොට ඇති බැවින් ඔවුන්ගේ කටයුතු ප්‍රධාන කාර්යාලයේ සිට නිරීක්ෂණය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇති බවද අරන්දර මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles