Wednesday, September 25, 2024

ඩෙල්ටා – ඔමික්‍රෝන් එකතුවෙලා අලුතෙන් එන ඩෙල්ටාක්‍රෝන් !

ඔමික්‍රෝන් ප්‍රභේදය විසින් ඇති කරන ලද කොවිඩ් රැලිවලින් පසු දැන් නැවතත් තවත් අලුත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ගැන අවධානයක් යොමුවන්නට පටන්ගෙන තිබේ. විද්‍යාඥයන් මෙම ප්‍රභේදය හදුන්වා ඇත්තේ ඩෙල්ටාක්‍රෝන් (Deltacron) ප්‍රභේදය යන නමිනි. එනමින් එය හඳුන්වා ඇත්තේ මෙය ඩෙල්ටා ප්‍රභේදයේත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේත් මුසුවීමෙන් සෑදුණු හයිබි්‍රඩ් ප්‍රභේදයක් වන බැවිනි.

මෙම ප්‍රභේදයේ ස්පයික් (Spike) ප්‍රෝටීනය යනුවෙන් හැඳින්වෙන කොටස ඔමික්‍රෝන් ප්‍රභේදයෙන්ද, සෙසු කොටස ඩෙල්ටා ප්‍රභේදයෙන්ද සෑදී ඇති බව සඳහන් වේ. “ස්පයික් ප්‍රෝටීනය යනු වයිරසය මිනිස් සෛල තුළට ඇතුළුවීම සඳහා යොදාගන්නා යතුරක් වැනි කොටසයි.”

මේ වනවිට මෙම වසර තුළ මෙම අලුත් ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් 17 දෙනකු පමණ හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙනි. යුරෝපයේ එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය වැනි රටවල මෙය පැතිරෙමින් ඇති බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, තවමත් හඳුනාගෙන ඇත්තේ මෙම ප්‍රභේදය ආසාදනය වූවන් සුළු පිරිසක් පමණක් නිසා මෙහි හැසිරීම් පිළිබඳව නිශ්චිතව තීරණය කිරීම තවම අපහසු බව විද්‍යාඥයෝ පවසති. ඩෙල්ටාක්‍රෝන් සෙසු ප්‍රභේදවලට වඩා වේගයෙන් ව්‍යාප්ත වන්නක්ද, වඩාත් බරපතළ රෝග ලක්ෂණ ඇති කරන්නේද වැනි කාරණා ගැන තවම නිශ්චිතව සොයාගෙන නැත. කෙසේ නමුත් ඇතැම් විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය එතරම් භයානක ප්‍රභේදයක් නොවීමට වැඩි ඉඩක් ඇති බවයි.

මේ ආකාරයෙන් ප්‍රභේද දෙකක් එක්වීමෙන් අලුත් ප්‍රභේදයක් සෑදෙන්නේ එකම පුද්ගලයකුට මෙම ප්‍රභේද දෙකම එකවර ආසාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙස බව සඳහන් වේ. පසුගිය කාලයේ එකම කාලසීමාවක් තුළ සහ එකම භූගෝලීය ප්‍රදේශවල ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද දෙකම එකවිට ව්‍යාප්ත වෙමින් තිබෙනු දැකිය හැකි විය. මෙවැනි අවස්ථාවල එකම පුද්ගලයකුට වයිරස ප්‍රභේද දෙකම ආසාදනය වීමට ඉඩක් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහත කී හයිබි්‍රඩ් ප්‍රභේද නිර්මාණය විය හැකි බව වයිරස විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙම ප්‍රභේදය ක්ෂණිකව හඳුනාගත හැකි පීසීආර් පරීක්ෂණයක්ද මේ වනවිට නිපදවා ඇති බව මෙම ඩෙල්ටාක්‍රෝන් ගැන අධ්‍යයනයන් සිදු කරන කණ්ඩායමක ප්‍රධානියා වන ෆිලිපේ කොල්සන් පවසා තිබේ. මෙම අලුත් ප්‍රභේදය පිළිබඳව වයිරසවේදීන් සහ සෞඛ්‍ය ආයතන දැඩි පරීක්ෂාවෙන් සිටින බව සඳහන් වේ. ඩෙල්ටා ප්‍රභේදය මෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයද පසුගිය කාලයේ ලොව පුරා විශාල අර්බුදයක් ඇති කළ බව නොරහසකි.

ඒ ආකාරයෙන්ම ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදයද නැවතත් එවැනි රැල්ලක් මතු කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් මෙම පාර්ශ්ව අවධානයෙන් සිටිති. ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය මුලින්ම සොයා ගන්නා ලද්දේ මේ ඊයේ පෙරේදා නොවේ. පසුගිය වර්ෂයේ අවසන් භාගයේය. එහි ගෞරවය හිමිවන්නේ සයිප්‍රස් ජාතික විද්‍යාඥයකු වන ලියොනි‍ෙදා්ස් කොස්ටි්‍රකිස්ටය. ඔහු සයිප්‍රස් විශ්වවිද්‍යාලයට සම්බන්ධ විද්‍යාඥයෙකි. කොස්ටි්‍රකිස් එකල පැවසුවේ තම කණ්ඩායම මෙම ප්‍රභේදය සහිත සාම්පල 25ක් හඳුනාගෙන ඇති බවයි. කෙසේ නමුත් ඔවුන්ගේ මෙම සොයා ගැනීමට ඒ කාලයේ එතරම් පිළිගැනීමක් ලැබුණේ නැත.

ඇතැම් පාර්ශ්ව එය සැලකුවේ පර්යේෂකයන්ට සිදු වූ වැරැද්දක් ලෙසිනි. එය අලුත් ප්‍රභේදයක් ලෙස නොපිළිගැනිණි. නමුත් ඩෙල්ටාක්‍රෝන් සොයාගත් කොස්ටි්‍රකිස් දිගටම තම සොයාගැනීම වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු දිගින් දිගටම පැවසුවේ මෙය ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද එක්ව සෑදුණු හයිබි්‍රඩ් ප්‍රභේදයක් බවයි. එසේම එය ඉහත කී ප්‍රභේද දෙකටම වඩා වේගයෙන් පැතිරෙන්නට හැකි බවක්ද ඔහු එකල පවසා තිබිණි. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් නම් තවම යම් සැකයක් පවතින බව පෙනේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles