Sunday, September 22, 2024

යාපනයේ ගැටුමෙන් පටු වාසි ගන්න එපා

යාපනය විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය පිරිසකට තවත් කණ්ඩායමක් විසින් පහර දීම තරයේ හෙලා දකින බවත් එම සිදුවීම උපයෝගී කර ගනිමින් පටු දේශපාලන හා පෞද්ගලික වාසි ලබාගැනීම සඳහාත් ඒ තුළින් නැවතත් අප රට විනාශකාරී මගකට තල්ලුකර දැමීම සඳහාත් යම් පිරිසක් විසින් උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට ඇති බවත් තම සංගමය ඒ සියලු ක‍්‍රියාවන් දැඩි පිළිකුලෙන් යුතු ව හෙලාදකින බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන්කරන එම සම්මේලනය තවදුරටත් සඳහන් කරන්නේ මෑත කාලය තුළ මෙබඳු සිදුවීම් සුලබව ඇතිවන බවක් පෙනෙන අතර, එය අප රටෙහි ප‍්‍රචණ්ඩකාරී සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා හේතු කාරක වෙමින් වත්මන් සමාජ ක‍්‍රමය තුළ දක්නට ඇති යම් යම් නිශේධනීය ලක්ෂණයන්ගේ ම අතුරු ඵලයක් බවත් යාපනය විශ්වවිද්‍යාලයේ මෙම අවාසනාවන්ත සිදුවීමට වගකිවයුත්තන් නොපමාව හඳුනා ගෙන ඔවුනට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා මෙන් විශ්වවිද්‍යාල බලධාරීන් වෙත අවධාරණය කර සිටින බවත්ය.

එහි සභාපති රංගික හල්වතුර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

“යාපනය විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය පිරිසකට තවත් කණ්ඩායමක් විසින් පහර දීම තරයේ හෙලා දකින විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, මෙම අවාසනාවන්ත සිදුවීමට වගකිවයුත්තන් නොපමාව හඳුනා ගෙන ඔවුනට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා මෙන් විශ්වවිද්‍යාල බලධාරීන් වෙත අවධාරණය කර සිටියි.

විශ්වවිද්‍යාල තුළ කවර ආකාරයක හෝ හිංසාකාරී ක‍්‍රියා හෝ ගැටුම් ඇති වීම අප සංගමය අනුමත නොකරයි. කෙසේ වෙතත් මෑත කාලය තුළ මෙබඳු සිදුවීම් සුලබව ඇතිවන බවක් පෙනෙන අතර, එය අප රටෙහි ප‍්‍රචණ්ඩකාරී සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා හේතු කාරක වෙමින් වත්මන් සමාජ ක‍්‍රමය තුළ දක්නට ඇති යම් යම් නිශේධනීය ලක්ෂණයන්ගේ ම අතුරු ඵලයක් බව අපගේ අදහසයි.

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ පවතින සියලූ ආකාරවල ප‍්‍රචණ්ඩත්වයන් මුලිනුපුටා දැමීම සඳහා උසස් අධ්‍යාපන බලධාරීන්,ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ප‍්‍රජාව අතර ඵලදායී, දීර්ඝ කාලීන සංවාදයක් ගොඩ නැගීම අත්‍යවශ්‍ය කරුණක් බව අපගේ විශ්වාසයයි.

යාපනය විශ්වවිද්‍යාලයයේ සිදුවීම උපයෝගී කර ගනිමින් පටු දේශපාලන හා පෞද්ගලික වාසි ලබාගැනීම සඳහාත් ඒ තුළින් නැවතත් අප රට විනාශකාරී මගකට තල්ලූකර දැමීම සඳහාත් යම් පිරිසක් විසින් උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට ඇති අතර අප සංගමය ඒ සියලු ක‍්‍රියාවන් දැඩි පිළිකුලෙන් යුතු ව හෙලාදකියි.

පුරා දශක හතරකට ආසන්න කාලයක් සියලූ ශ‍්‍රී ලාංකිකයන් පීඩාවට පත්කළ කුරිරු යුද්ධයේ අත්දැකීම් අනාගතයේ යළි විඳගැනීමේ අපේක්ෂාවක් අප කිසිවෙකු තුළ නැත. එසේ හෙයින් කවර කණ්ඩාමක් විසින් හෝ සිදුකරන වර්ගවාදී ක‍්‍රියාවන් පිළිබඳව අවදියෙන් සිටිමින් එකමුතුව ඊට එරෙහිව නැගී සිටින ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රජාවට ද සියලූ පුරවැසියන්ට ද අපි ආයාචනය කරන්නෙමු.

එබඳු සිදුවීම් සඳහා විසඳුම් සෙවිය හැක්කේ විවිධ ජන කණ්ඩායම් අතර අවබෝධය හා විශ්වාසය ගොඩනැගෙන අන්දමේ විවෘත,ධනාත්මක හා අර්ථවත් කතිකාවතක් තුළින් පමණක් බව අප සංගමය දැඩිව විශ්වාස කරයි.

එසේ හෙයින් යාපනය විශ්වවිද්‍යාලය තුළ නැවතත් සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ගනු ලබන එ බඳු පියවර වෙනුවෙන් අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට අපි නොපැකිලව ඉදිරිපත් වන බව ද ප‍්‍රකාශ කරන්නෙමු.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles