Saturday, September 21, 2024

යාපනයේ සරසවි ගැටුම සම්බන්ධ රජයේ නිල මතය

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (16)ඇතිවූ සිද්ධියෙන් පසු දැන් එහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති අතර ළඟදීම විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට පියවර ගනිමින් පවතින බව රජය ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඒ.හිල්මි මොහොමඩ් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එහි මෙසේද සඳහන්ය.

මෙම සිද්ධිය රජය තරයේ හෙළාදකී.එමෙන්ම මෙම ගැටුමේ ක්‍රියාවල යෙදුණ ශිෂ්‍යන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාල බලධාරීන් පවසන අතර විශ්වවිද්‍යාලය තුළ සාමය ඇති කිරීමට හා සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය බැඳී සිටී. පොලිස් පරීක්ෂණ වෙනමම ක්‍රියාත්මකයි. ඒ හා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධිය ජාතීන් අතර ගැටුමක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නමුත් මෙය හුදෙක් සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකි.එහෙත් එහිදී ඇතැම් සිසුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම රජය තරයේ හෙළාදකී.ගතවූ වසර 6ක පමණ කාලයක සිට යාපනය විශ්වවිද්‍යාලයේ විවිධ ජාතීන් හා ආගම් වලට අයත් 7000ක් පමණ වන සිසුහු සාමකාමීව අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කරති.

ඔවුන් මීට පෙරද දීපවාලි,වෙසක් ආදී දෙමළ හා සිංහල ආගමික හා සංස්කෘතික උත්සව අවස්ථාවන්හිදී සහයෝගයෙන් කටයුතු කර ඇත. එසේම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් බොහොමයක් නතරවී සිටින්නේද දෙමළ ජනතාවගේ නිවෙස්වලය.

පසුගිය සෙනසුරාදා සිද්ධියට හේතු වී ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයකදී සිසුන් දෙපිරිසක් අතර හටගත් බහින්බස්වීමක් නිසා ඇතිවු ගැටුමකි.

මෙම සිද්ධිය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් බහුතරයක් වගකීමෙන් යුතුව වාර්තා කිරීම රජය අගය කරයි.එසේම සමාජ මාධ්‍යයෙන්ද මෙවැනි සිදුවීම් මීට වඩා වැඩි වගකීමකින් වාර්තා කළ යුතුව තිබේ.

මෙම අවස්ථාවේ සාමය ආරක්ෂා කිරීමට නිරායුධව පැමිණි පොලීසිය ගැටුම සමථයකට පත්කිරීම සඳහා ක්‍රියා කළ ආකාරයද ප්‍රශංසනීයයි.

මෙහිදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒ නිසා ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය විශ්වවිද්‍යාල ප්‍රජාව,විශ්වවිද්‍යාල බලධාරීන්,ශිෂ්‍ය සංවිධාන,දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ විසින් හෙළාදැකීමද අගය කළ යුතුය.

යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධිය නිසා අනෙකුත් විශ්වවිද්‍යාලවල නොසන්සුන්තාවක් ඇති නොවන පරිදි කටයුතු කිරීම පිළිබඳව එම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ප්‍රජාව හා පාලන අධිකාරීන්ට රජයේ ප්‍රශංසාව හිමිවේ.මේ සම්බන්ධයෙන් ගැටුමට අදාළ ශිෂ්‍ය කණ්ඩායම් දෙක ඇතුළු ප්‍රධාන පාර්ශවයන් සමග සාකච්ඡා කොට විශ්වවිද්‍යාලය තුළ සාමය හා සංහිඳියාව තහවුරු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටී.මේ වෙනුවෙන් සාමය හා සහජීවනයට අදාළ අමාත්‍යංශය සහ ආයතනවල සහායද ලබා ගැනේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles