Tuesday, September 24, 2024

වජිර පොළොන්නරුවේ බොහෝ ප්‍රශ්න විසදා අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය මත ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පූර්ණ දායකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසක් පුරා පැවැති  “නිල මෙහෙවර“ ජාතික ජංගම සේවා වැඩසටහනෙහි සමාප්ති උත්සවය මේ මස 30 වන සෙනසුරාදා පෙ.ව. 7.00 සිට රාත්‍රී 10.00 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙයි.

 2016 ජුලි මාසය පුරාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව මේ වන විට අතිසාර්ථක ලෙස පවත්වා අවසානය. ඒ අනුව ජුලි 01-02 මැදිරිගිරිය, ජුලි 07 ඇළහැර, ජුලි 08-09 හිගුරක්ගොඩ, ජුලි 12 වැලිකන්ද, ජුලි 16 දිඹුලාගල, ජුලි 17 ලංකාපුර, ජුලි 22-23 තමන්කඩුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි නිල මෙහෙවර ජංගම සේවාව පැවැත්විය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, ආගම විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ගණනාවක් සහ රජයේ අමාත්‍යාංශ 53 ක නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය මේ සඳහා හිමි වුණි.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට පවත්වා අවසන් වූ ප්‍රාදේශිය ජංගම සේවා 7 සඳහා සහභාගී වූ මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 42,734කි. එයින් 36,168 ක ගැටලු විසඳාලීමට හැකිවිය. එය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අනුව මෙසේය. මැදිරිගිරිය සහභාගී වූ සංඛ්‍යාව 8108 ක් වූ අතර විසඳුණු ගැටලු 5405 කි. හිගුරක්ගොඩ  සහභාගී වූ සංඛ්‍යාව 7180 ක් වූ අතර විසඳුණු ගැටලු 6929 කි. ඇලහැර සහභාගී වූ සංඛ්‍යාව 4888 ක් වූ අතර විසඳුණු ගැටලු 3994 කි. වැලිකන්ද සහභාගී වූ සංඛ්‍යාව 6625 ක් වූ අතර විසඳුණු ගැටලු 6209 කි. දිඹුලාගල සහභාගී වූ සංඛ්‍යාව 5017 ක් වූ අතර විසඳුණු ගැටලු3974 කි. තමන්කඩුව සහභාගී වූ සංඛ්‍යාව 6682 ක් වූ අතර විසඳුණු ගැටලු 6424 කි. ලංකාපුර සහභාගී වූ සංඛ්‍යාව 4234 ක් වූ අතර විසඳුණු ගැටලු 3233 කි.

මෙම ජංගම සේවාවෙහි විශේෂත්වය වූයේ ජනතාවගෙන් අය කිරීමක් නොමැතිව උප්පැන්න, විවාහ, මරණ සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීමය. එයට අමතරව වෛද්‍ය සායන හා ඇස් කණ්ණාඩි ලබාදීම, සමෘද්ධි, වැඩිහිටිදීමනා, විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම, කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීම, අධ්‍යාපන සම්මන්ත්‍රණ – අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම, ඉඩම් ගැටලු නිරාකරණය කිරීමස්වයං රැකියා අවස්ථා සැකසීම, ආගමික ස්ථාන සඳහා ප්‍රතිපාද ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් සිදු විය.

 
 පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටලූ තිබෙන බවට වාර්තා වු අතර එබැවින් මෙම ජංගම සේවාව මගින් ඉඩම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා ශි‍්‍ර ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටලූ නිරවුල්කර ගැනීමේ අගනා අවස්ථාවක් උදාවිය. එමෙන්ම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකින් සපයනු ලබන සේවාවන් රැසක් මෙහිදී සිදුවිය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණදෙන අලි මිනිස් ගැටුම ආදී විවිධ ගැටලූ සඳහා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය හා එයට අනුබද්ධ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවී විසඳුම් ලබාගැනීමට මෙම ජංගම සේවාව මගින් පහසුකම් සලසා තිබු අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින්ගේ සේවයද මේ සඳහා හිමි විය.

ජනතාවගේ ගැටලූ හා අවශ්‍යතා හඳුනාගෙන ඔවුන් වෙතම ගොස් විසදාලීමේ අරමුණින් රාජ්‍ය අංශයේ සියලූ ආයතනයන්ගෙන් හා ජනතාවට වඩාත් සමීප ඇතැම් පෞද්ගලික ආයතන මෙම ජංගම සේවාව සඳහා එක්ව තිබීම පිළිබඳව හා ජනතාව ඒ පිළිබඳව මනා උනන්දුවකින් මේ සඳහා සහභාගී වීම තුළ මෙහි සාර්ථකත්වය දැකගත හැකිවිය.

සාමාප්ති දින රාජ්‍ය ආයතන 135 ක් සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාව සඳහා  සේවා සැපයීම සඳහා එක්වීමට නියමිතයි.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ වන මෙම ජනතා මෙහෙවර මුළු දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවගේ නොවිසඳුණු ගැටලූ විසඳාදීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකායන පරමාර්ථයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles