Monday, September 23, 2024

විමල්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි..

තමන්ට අගතිදායක වන අයුරින් අල්ලස් කොමිසම මගින් සිදුකරන පරීක්ෂණය නතර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අල්ලස් කොමිසම මගින් සිය වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විමල් වීරවංශ මහතා අදාළ පෙත්සම මගින් පෙන්වාදී  ඇත.

පරීක්ෂණයට අවශ්‍ය සියළු තොරතුරු සපයා දී තිබියදී නීතියට පටහැණි ආකාරයට අල්ලස් කොමිසම තමන්ගෙන් නිදහසට කරුණු විමසීමක් සිදුකරන බවට විමල් වීරවංශ මහතා  චෝදනා කරයි.

ඒ හේතුවෙන් අල්ලස් පනතට පටහැණි ආකාරයට සිදුකරන අදාළ පරීක්ෂණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර විමල් වීරවංශ මහතා ඉල්ලා ඇත.

කෙසේවෙතත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කියා සිටියේ සිද්ධියට අදාළව විමල් වීරවංශ මහතාට කරුණු ඉදිරිපත් කිරීමට  අල්ලස් කොමිසම අවස්ථා ගණනාවක් ලබාදී ඇති බවයි.

පරීක්ෂණය නීතියට පටහැණි අයුරින් සිදු නොවන බව පැවසූ රජයේ නීතීඥවරයා විමල් වීරවංශ මහතාට මෙම පරීක්ෂණයට අදාළව යම් විරෝධතාවක් ඇත්නම් එය අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතින බව ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ පදනමක් නොමැති බැවින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles