Sunday, September 22, 2024

ශ්‍රී ලංකා නාවිකයන්ට ස්විස්ටර්ලන්තයෙන් රැකියා වරම්

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නාවිකයින්ට ස්විස්ටර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමේ අවස්ථාව උදා වන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පවසයි.

ඒ සඳහා වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙයිඩර්කෝන් (Heinz Walker – Nederkoon) මහතා විසින් සිදු කෙරිණ.

වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ එම ගිවිසුම අත්සන් කෙරුණු අතර නාවික විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර අත්සන් කෙරුණු පළමු ගිවිසුමද මෙය වේ.

වෙළඳ නාවිකයන් පුහුණු කිරීම්, සහතික කිරීම් සහ මුරකාවලෙහි යෙදීමේ ප්‍රමිතීන් හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයයි. ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ පාර්ශ්වකරුවකු වේ. ඒ අනුව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ සම්මුතීන් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ වරාය සහ නාවික අමාත්‍යාංශය යටතේ පාලනය වන වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි. ශ්‍රී ලංකාවේ නාවිකයින්ට සියලු සහතික නිකුත් කරන්නේ මෙම ආයතනයයි.

කෙසේ නමුත් වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න මහතා පවසන්නේ මෙරට නාවිකයකු වෙනත් රටක නෞකාවක සේවය කිරීමේදී මෙරට සමුද්‍රිය සහතික පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා එම නෞකාව අයත් රාජ්‍යයෙහිද හඳුනා ගැනීමේ සහතිකය (Certificate of Recognition) ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එම හඳුනා ගැනීමේ සහතික ලබා ගැනීම උදෙසා අදාල රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් හෝ ප්‍රතිඥාවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ශ්‍රී ලංකාව දැනටමත් එවැනි ගිවිසුම් 29කට අත්සන් කර තිබේ. ස්විට්සර්ලන්තය සමඟ ඇති කර ගත් ගිවිසුම එහි නවතම අවස්ථාවයි. මෙම ගිවිසුම හේතුවෙන් ඉදිරියේදී ස්විට්සර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමෙන් රටට විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථාව උදාවනු ඇතිබවද වරාය සහ නාවික අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles