Tuesday, September 24, 2024

සෞදියේ ලාංකිකයන්ට රැකියා අහිමිවන ලකුණු

සෞදි අරාබියේ මේ වන විට ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් එරට කර්මාන්ත ශාලාවල රැකියා කරන විදේශීය ශ්‍රමිකයන්ට රැකියා අහිමිවීමේ ප්‍රවණතාවක් ඇති බවත් එසේම මෙම තත්ත්වය මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දස දහස් ගණනකගේ රැකියාද අහිමි වීමේ දැඩි අවදානමක් මතු වී තිබෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ උපුල් දේශප්‍රිය මහතා ලක්බිමට පැවැසීය.
මේ වන විට ගෘහ සේවයද ඇතුළුව ඉදිකිරීම්, කර්මාන්ත ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එක්ලක්ෂ අනූ පන්දහසක් පමණ සේවය කරන අතර  එහෙත් දැනට ගෘහ සේවයේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් දැඩි අනතුරක් ඇති වී නැතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය. ලෝක වෙළෙඳ‍පොළේ තෙල් මිල පහළ යෑම සෞදියේ මෙම ආර්ථික අර්බුදයට හේතුවී තිබේ.
කෙසේ වුවද පවතින මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ ඉදිරියේදී මෙම ආර්ථික අර්බුදය උග්‍රවීම තවදුරටත් සිදුවුවහොත් එරටට කර්මාන්ත හා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම අත්හිටුවීමට කාර්යාංශය තීරණය කර ඇති බවද ඒ මහතා කීය.
මේ වන විට ගෘහ සේවයද ඇතුළත්ව කර්මාන්ත, ඉදිකිරීම් ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එක් ලක්ෂ අනූ පන්දහසක් පමණ රැකියාවන් කරන අතර මෙම ආර්ථික අර්බුදය සම්බන්ධ ප්‍රශ්න ගෘහ සේවය හැර අනෙකුත්
ක්‍ෂේත්‍රවලට බලපා තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය කරන කර්මාන්ත ශාලා දෙකක්ද මෙම අර්බුදයට මුහුණ පා සිටින අතර ඒ අනුව සෞදියේ රියාද්හි පිහිටි සාඩ් සමාගමේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුට රැකියා අහිමි වී ඇත.
ඔවුන් සම්බන්ධයෙන් රියාද් තානාපති කාර්යාලය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඔවුනට ආහාර ඇතුළු පහසුකම් නොලැබෙන තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර ඔවුන්ට ආහාර හා සෙසු පහසුකම් ලබා දීමට තානාපති කාර්යාලය හරහා මුදල් ලබා දීමට පියවර ගනු ලැබූ බවද ඒ මහතා පැවැසීය.
එයට අමතරව මෙම සමාගම මගින් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසුව මෙම පිරිස දිවයිනට ගෙන්වීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles