Sunday, September 22, 2024

හන්තාන ළමා අපයෝජකයා ලක්ෂ 23ක විදුලි බිල් වංචාවකුත් කරලා

මහනුවර හන්තාන නායකත්ව පුහුණු ඇකඩමියේ දරු දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු නිමල් එන්. පීරිස් ලිංගික අපයෝජකයෙකු පමණක් නොව නීලකාස වංචාකරුවෙකුද වන බව වාර්තා වෙයි.

ඒ ලක්ෂ 23 කට ආසන්න විදුලි බිල්පත් වංචා කිරීම සම්බන්ධවය. අප වෙත වාර්තා වන ආකාරයට ඒ මෙසේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය අවභාවිතය සහ වංචා සම්බන්ධ විමර්ශන අංශය (Flying Squad)වෙත ලැබුණු හොඩුවාවකට අනුව මීට වසර 2-3 කට පෙර නිමල් පීරිස්ගේ හන්තාන නායකත්ව පුහුණු ඇකඩමියට අයත් විදුලි මනු සටහන් යන්ත්‍රය පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් හෙළිකර ගන්නේ නිමල් පීරිස් විසින් විදුලි ඒකක 100 ක් වැය වීමේදී ඒකක 10-12 ක් පමණ පෙන්වන ආකාරයට විදුලි මනු සටහන් යන්ත්‍රය විකෘති කොට ඇති බවත් ඒ වන විටත් රුපියල් ලක්ෂ 23 කට අධික මුදලක් ඒ හරහා වංචා කර ඇති බවත්ය.

ඊට අදාළව නිමල් එන්. පීරිස් ට එරෙහිව නඩු පැවරීමට විදුලිබල මණ්ඩලයේ විමර්ශන අංශය පියවර ගෙන ඇති නමුත් එවකට මහනුවර ප්‍රදේශයේ විදුලි බල මණ්ඩල සේවකයින්වත් අදාළ නඩුව පවත්වාගෙන යාම සඳහා විමර්ශන අංශයට සහය දී නොමැත. ඒ නිමල් එන්. පීරිස් ගේ බලය නිසාය. ඔහු විසින් විවිධ බලවතුන් යොදවා නඩු කටයුත්තට බලපෑම් එල්ල කර ඇති අතර ඒ නිසා විමර්ශන කණ්ඩායම නඩුව පරාජය වී ඇත.

රජයට ගෙවීමට ඇති ලක්ෂ ගණනක මුදලක් ගෙවීම පැහැර හැරීමට අමතරව නඩු කටයුත්තටද බාධා කිරීම සම්බන්ධව ඒ සමයේ එම ප්‍රදේශය නියෝජනය කළ ප්‍රාදේශීය වාර්තාකරුවන් දැනුවත් කර ඇති නමුත් ඔවුන්ද ඉතා සුක්ෂමව ඉන් බැහැරවී ඇත. කෙසේ වුවත් විමර්ශන කණ්ඩායම් සිය උත්සාහය නවතා නැති අතර ඔවුන් පළමු අධිකරණ තීන්දුව අභියෝගයට ලක්කර තවත් නඩුවක් ගොනුකර ඇත.

ඒ අනුව HC/19/2016 යටතේ එම නඩුව නැවත විභාගයට ගැනීමට තීරණය වී ඇති අතර සැප්තැම්බර් 06 එය කැඳවීමට නියමිතව ඇත.

මීට අමතරව නිමල් එන්. පීරිස් විසින් ලිංගික සංතෝසම් ලබාදෙමින් සිදුකළ තවත් වංචා කිහිපයක් පිළිබඳ ද අපවෙත වාර්තා වී ඇති අතර ඒවා ගැනද අවශ්‍ය තහවුරු කර ගැනීම් සිදුකිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධ කිරීමට අප බලාපොරොත්තු වෙමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles