Saturday, September 21, 2024

සාකච්ඡා කැර රේගු පනතට සංශෝධන ගේනවා

කිසිසේත්ම රහසිගතව රේගු ආඥා පනතක් සකස් නොකරන බවත් පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තුවට මෙන්ම සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කැර පවතින රේගු පනතට සංශෝධන ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සහතික වෙමින් පැවැසීය.

දැනට පවතින රේගු ආඥා පනත අනුව අන්තර්ජාල තාක්ෂණය වැනි නවීන තාක්ෂණය උපයෝගි කැර ගත නොහැකි බැවින් නවීන තාක්ෂණය ඇතුළත් කළ හැකි පරිදි නව වගන්ති ඊට එක් කැර රේගු ආඥා පනත සංශෝධනය විය යුතු බව ද අගමැතිවරයා අවධාරණය කෙළේය. එමෙන්ම රේගු පනතට එක් කළ යුතු හා ඉවත් කළ යුතු වගන්ති ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අදාළ රේගු ආඥා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව මුදල් ඇමැතිවරයා ඉදිරියේදි පාර්ලිමේන්තුව දැනුවත් කරන බව ද අගමැතිවරයා පැවැසීය. රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සේවා නියුක්තිකයින් දැනට සිදු කරන අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය රහසිගත රේගු ආඥා පනතක් ගෙන ඒම බවත් එය වැළැක්වීමටආණ්ඩුව මැදිහත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මුදල් ඇමැතිවරයාට ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ මුදල් ඇමැතිවරයා සභා ගර්භයේ නොසිටි අතර මුදල් ඇමැතිවරයා අදාළ පිළිතුර විස්තරාත්මකව ලබාදෙන බව ද අගමැතිවරයා පැවැසීය.

මේ අවස්ථාවේදි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ද කරුණු දක්වමින් කියා සිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලියෙන් රජයට දිනකට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වන බව යි. එහිදී අගමැතිවරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පවතින තත්ත්වය පිළිබඳ පාර්ශ්ව කිහිපයක් තමන් සමඟ සාකච්ඡා කැර ඇති බව ය. රේගු ආඥා පනත් කෙටුම්පත පිළිබඳ වෙළෙඳ මණ්ඩල, වෙළෙඳ මණ්ඩල නොවන සමාගම් හා පෞද්ගලික අංශ ඇතුළු සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කැර මිස රහසිගත ආඥා පනත් ගෙන නොඑන බව ද අගමැතිවරයා ප්‍රකාශ කෙළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles