Sunday, September 22, 2024

එකලස් කර හොරට තැනූ සැප වාහන 3ක් වාරියපොලින් අල්ලයි

විදේශයකින් ගෙන්වන ලද අමතර කොටස් උපයෝගී කරගනිමින් නීති විරෝධී ලෙස මෙරටදී එකලස් කර නිපද වූ බව කියන අධිසුඛෝපභෝගී ජීප් රථ තුනක් සහ එම ජාවාරමට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (8දා) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වාරියපොල, ගිනිපෙන්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා ජපානයෙන් ගෙන්වන අමතර කොටස් එකලස් කොට නීති විරෝධී ලෙස නිපදවන මෝටර් රථ අලෙවිකරමින් සිටින බවට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලැබී තිබූ ඔත්තුවකට අනුව පරීක්ෂණ මෙහෙය වූ කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු සැකකරු විසින් පාව්චිචි කරමින් සිටි එක් ජීප් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව වාරියපොල ප්‍රදේශයේ ගරාජයක තිබියදී තවත් ජීප් රථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් අධි සුඛෝපභෝගී ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මිලදීගෙන පාවිච්චි කරමින් තිබියදීය. අත්අඩංගුවට ගැණුනු එක් ජීප් රථයක් ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ එකක් වන අතර තවත් එකක් ටොයෝටා ප‍්‍රාඩෝ වර්ගයේ රථයක් ද, අනෙක මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයටත් අයත් රථයක්ද වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර මෙම ජීප් රථ තුනම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ බවත්, ව්‍යාජ අංක තහඩු සවි කර ධාවනය එක්කර තිබූ බවත් පොලිසිය කියයි.

මෙම මෝටර් රථයක වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ සියයකට අධික වන නමුත් මෙම එක් මෝටර් රථයක් අලෙවි කර ඇත්තේ ඊට වඩා බෙහෙවින් අඩු මුදලකට බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ගැණුම්කරුවන්ගේ විශ්වාසය තහවුරු කරනු පිණිස මෙම වාහන සඳහා මූල්‍ය ආයතනවලින් කල්බදු ක‍්‍රමයට ණය පහසුකම්ද ලබාගෙන තිබූ බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මෙම ජාවාරමට සම්බන්ධ එක් පුද්ගලයෙකු පමණක් වන බවත්, එකලස් කරන ලද වාහන විවිධ පුද්ගලයන්ට විකිණීම සඳහා තැරුව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම ජාවාරම සඳහා රේගු දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ගේද සහය ලැබී ඇති බවට සැකකරන කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය, ජාලයක් ලෙස ක‍්‍රියාත්මක මෙම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ, රේගු දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක උසස් නිලධාරින්ගේ තනතුරු අනුව සකස් කළ ව්‍යාජ නිල මුද්‍රා තොගයක් සහ ව්‍යාජ ආදායම් බලපත‍්‍ර, ව්‍යාජ වාහන ලියාපදිංචි සහතික ඇතුලු වාහන සම්බන්ධ ලියකියැවිලි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාලක සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න, පොලිස් සැරයන් හේරත් (30872 ), විජිත (25493) , පොලිස් කොස්තාපල් ලයනල් (30837) , කරුණාතිලක (32517) , කුලතුංග (33568) සහ රංජිත් (62975) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles