Sunday, September 22, 2024

ජනපති-අගමැති රටට-ජනතාවට අහිතකර තීරණ ගන්නේ නෑ

මල්වතු මහ නා හිමියෝ ස්විට්සර්ලන්ත කතානායකවරියට කියති

මෙරට ජාතික හා ආගමික සංහීඳියාව ගොඩනගමින් කිසිදු ජාතියකට හෝ ආගමකට අවාසියක් නොවන පරිදි රට සංවරධනය කරා මෙහෙයවීමට ජනපති හා අගමැති අවංක උත්සහයක් ගෙන ක්‍රියාකරමින් සිටින බවත් මෙම පාලකයන් දෙදෙනා කිසිවිටකත් රටට හෝ ජනතාවට අහිතකර තීරණ නොගන්නා බව තමන් වහන්සේට විශ්වාස බවත් මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියෝ පවසති. මහ නා හිමයෝ එසේ පැවසුවේ ස්විස්ටර්ලන්ත කතානායක ක්‍රිස්ටා මාර්ක් වැල්ඩර් මහත්මිය ඊයේ (9) පෙරවරුවේ උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

දේශපාලනික,ආගමික,ජාති වශයෙන් අන්තවාදීව හැසිරෙන සුළු පිරිසක් ලොව ඕනෑම රටක සිටින බවත් එය ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ප්‍රශ්නයක් නොවන බවත් කී මහනාහිමියෝ ජනපති හා අගමැති සියලු ජන කණ්ඩායම්වල අවශ්‍යතා හඳුනා ගනිමින් සියල්ලට සාධාරණයක් ඉටුවන පරිදි ක්‍රියාකරමින් සිටින බවද ප්‍රකාශ කළේය. යුරොපය ඇතුළු ලොව බොහෝ රටවල් අද ශ්‍රී ලංකාව සමඟ සුහදව කටයුතු කරන බවත් එම රටවල් මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදෙන සහය අගයන බවත් උන්වහන්සේ කීහ.

ජාතීන් අතර සුහඳතාව ආරක්ෂා කරගනිමින් රට සංවර්ධනය කරා මෙහෙයවීමට ජනපති හා අගමැති විශාල මහන්සියක් ගන්නා බවද ජාති,ආගම්,පක්ෂ බේදයෙන් තොරව ඊට සැවොම සහය දිය යුතු බවද මහ නා හිමියෝ ප්‍රකාශ කළහ.

මෙරට තුළ ජාතික හා ආගමික වශයෙන් සංහිඳියාවක් නොමැති බවට ගෙනයන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යය තාවක් නොමැති බවත් ජනපති අගමැති දෙදෙනා එවැනි තත්ත්වයකට ඉඩක් නොතබමින් ක්‍රියාකරන බවත් කී මහ නා හිමියෝ අන්තගාමී සුළු පිරිසක් කරන දේ රටක් වශයෙන් පිළිගැනීමට ලක් නොවන බවද පැවසූහ.

විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා පසුගියදා කළ ප්‍රකාශයක් හේතුවෙන් රටේ යම් යම් මතවාද ඇතිවූ බවත් ජාතිවාදි පිරිස් කොයි ජනතාව අතරත් සිටින බවත් මහ නා හිමියෝ ප්‍රකාශ කළහ.

වත්මන් රජය බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් එංගලන්තය, ජර්මනිය, ඇමරිකාව වැනි රටවල් අද බුදු දහම හා බැඳමෙන් සිටින බවත් උන්වහන්සේ කීහ. කතානායකවරිය ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහ නා හිමියන් ද බැහැදුටු අතර එහිදී අදහස් දැක්වූ මහ නා හිමයෝ බුදුන් වහන්සේ දේශනා කළේ දර්ශනයක් බවත් එය ඕනෑම ආගමකට අයත් අයෙකුට වුවත් අනුගමනය කළ හැකි බවත් පැවසූහ.

මෙම උතුම් දර්ශනය තුළින් සමඟිය හා සංහිඳියාව පිළිබඳව නියම පාඩම ලොවට කියාදී තිබෙන බවත් එමඟින් කිසිදු ජාතියක් හෝ ආගමක් කිසිවිටකත් පහත් කොට සැලකීමක් සිදු නොකරන බවත් මහ නා හිමියෝ කීහ.

මෙහිදී අදහස් දැක්වූ ස්විස්ටර්ලන්ත කතානායක ක්‍රිස්ටා මාර්ක් වැල්ඩර් මහත්මිය බෞද්ධ ආගමික පදනමක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී පැවතීමට එම දර්ශනය තුළින් ජනතාව ලත් හික්මීම ප්‍රබල හේතුවක් බව පැවසුවාය. බලය විමධ්‍යගත කළ රටක් ලෙස ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය සම්බන්ධව උන්න්දුවෙන් බලා සිටින බවත් සාධාරණ හා කාගේත් එකගතාව ඇතිවන පරිදි එය ඉටුකිරීමට බෞද්ධ දර්ශනය තුළින් කියාදෙන සහජීවනයේ පාඩම් මනා පිටුබලයක් වනු ඇති බවත් පැවසුවාය.

නව ව්‍යවස්තාව තුළින් ශ්‍රී ලංකාවේ ගැටලු රැසකට ස්ථිරි විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් වත්මන් පාලකයින් ඒ සඳහා ගන්නා අවංක උත්සහය අගය කරන බවත් ඇය කීවාය. ශ්‍රී ලංකාව හා ස්විස්ටර්ලන්තය අතර ඉතා දීර්ඝ කාලයක පටන් සබඳතාවක් පවතින බවත් ශ්‍රී ලංකාවේ සුබ සිද්ධිය පිණිස තම රට ඕනෑම අවස්ථාවක කටයුතු කිරීමට‍ සූදානම් බවත් කතානායකවරිය පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles