Saturday, September 21, 2024

ඊශ්‍රායලයේ රැකියා දෙන බව කියා මුදල් වංචා කරලා

ඊශ්‍රායල් රටේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට පවසා රුපියල් හත්ලක්ෂ පනස්හතර දහසක් ලබාගෙන වංචා කළේ යැයි සැකපිට රිමාන්ඩ් කර සිටි කාන්තාවක් මේ මස දාහත් වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධ‍ෙයන් බණ්ඩාරගම, මොරොන්තුඩුව, කුඩාහේනදූව පදිංචි කාන්තාවක් එසේ රිමාන්ඩ් කිරීමට නියම විය.

මෙම සිද්ධිය සම්බන්ධ‍ෙයන් යටියන්තොට, ශ්‍රී නරේන්ද්‍රාරාම විහාර මාවතේ පදිංචි කාන්තාවක් පෙර අවස්ථාවේ ඇප මත මුදාහැර තිබිණි.

වත්තල, හුණුපිටිය, නාහේන ප්‍රදේශයේ පදිංචි මයිකල් බැසියර් යන අය විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල විමර්ශනය කර මෙම සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් ඊශ්‍රායලයේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට පවසා මෙම රිමාන්ඩ් බාරයේ පසුවන සැකකාරිය ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිතා කරමින් මෙම මුදල් වංචා කර ඇති බව පැවසීය.

මීට අමතරව මෙම රිමාන්ඩ් බාරයේ පසුවන සැකකාරිය වංචා කරන ලද මුදල් ඊශ්‍රායලයේ සිටින මෙහි ප්‍රධාන සැකකරුට යවා ඇති බවත්, මෙහි ඊශ්‍රායලයේ සිටින ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසූහ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා ‍එම නියෝගය නිකුත් කළේය.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ ලංකා හෙට්ටිආරච්චි මහත්මිය පෙනී සිටියාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles