Sunday, September 22, 2024

ශ්‍රීලනිප-එජාප මුල්ම ගිවිසුම හිටපු ජනපතිගෙන් – ජනපති

වත්මන් රජය වසර දෙකක් තුළ කළේ කුමක්දැයි අහන අය පසුගිය රජය තමන්ගේ මුල් අවුරුදු දෙක තුළ කළේ කුමක්දැයි මතක් කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 3828ක් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය. ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ මෙම උත්සවය පැවැත්වුණි.
මෑන්පවර් ක්‍රමය යටතේ විදුලිබල මණ්ඩලයට බඳවා ගනු ලැබූ සේවකයන් සඳහා මෙහිදී පත්වීම් ප්‍රදානය කෙරුණි.
හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව වසර දෙකක් තුළ කළේ කුමක්දැයි අසන බව තමන් පුවත්පත් මගින් දැක්කේ යැයි පැවැසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ආණ්ඩුවේ මුල් අවුරුදු දෙක තුළ එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව කරගෙන යාමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවද පැවැසීය. 2007 වසරේදී අත්සන් තැබුණු එම ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කළ පළමු අවබෝධතා ගිවිසුම බවද ජනාධිපතිවරයා පැවැසීය.
පසුගිය රජයට ඔවුන්ගේ පාලන කාලය තුළ කරගත නොහැකි වූ සහ නොකළ කාරණා රැසක් වත්මන් රජය පසුගිය වසර දෙකක කාලය තුළ ඉටුකර ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය.
බටහිර, නැගෙනහිර ඇතුළු විදේශීය රාජ්‍යවල සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හොඳ හිත දිනාගැනීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ගේ නිදහස වගේම මාධ්‍ය නිදහස තහවුරු කිරීමට වත්මන් රජයට හැකිවූ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඒ වගේම වත්මන් රජය හැමවිටම කටයුතු කරන්නේ මධ්‍ය ආදායම් ලබන රටක් වන ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමට බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද මෙහිදී අදහස් දැක්වීය. විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නන් ලෙස කටයුතු කරන සේවකයන් මින් ඉදිරියට පාරිභෝගික සේවා සම්බන්ධීකාරකවරුන් ලෙස හඳුන්වන බවත් ඒ අනුව මනු කියවන්නන් යන නාමය ඉවත්වන බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles