Saturday, September 21, 2024

GSP+ සහනය මාර්තු

යහපාලන රජයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සියල්ලම වෙනසක් නොකර ඉදිරියට ගෙන යනවා නම් ලබන මාර්තු – මැයි මාස අතරතුර දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකියාව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

20 වන දා දහවල් යුරෝපීය පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡා වාරයන්ගෙන් පසුව ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ මුළු රටම ඒකරාශී කර ගනිමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරලීම ජනවාරි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

කතා කිරීමේ කාලය අවසන් වී ඇති බවත්, දැන් උදාවී ඇත්තේ සැලසුම් ක්‍රියාත්මක කරලීමේ කාලය බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එහි දී වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

“යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියා පාර්ලිමේන්තු කණ්ඩායම මුණගැසීමෙන් අනතුරුව යුරෝපා සංගමය සමඟ මේ සංචාරයේ දී කෙරුණු සාකච්ඡා අවසන් වුණා. එම සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය වෙතින් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව කිව යුතුයි.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයෙන් ඉල්ලූ ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට තවත් ඇත්තේ තාක්‍ෂණික කරුණු කිහිපයක් පමණක් බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර ප්‍රධාන නියෝජිතවරිය වන මොගේනි ඇමැතිවරිය පවසා සිටියා. ශ්‍රී ලංකාවේ වෙළෙඳ අංශය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණා ක්‍රියාත්මක වී තිබෙනවා ද, නැද්ද යන කරුණ පිළිබඳ ඔවුන් තවදුරටත් සොයා බලාවි. “ටෙක්නිකල් ඇප්ලිකේෂන් ඇසෙස්මන්ට්” නැතහොත් ඉල්ලුම් පත්‍රයේ තාක්‍ෂණික ඇගැයීම යනුවෙන් එම කාරණය හඳුන්වනවා. දැනට ඔවුන් කර ගෙන යන්නේ එම කාරණයයි.

අප ඉහත කරුණු ඉතා හොදින් ක්‍රියාත්මක කර ගෙන යන බව මා ඇයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්‍ෂණ වැඩසටහන් ප්‍රකාශ කළ අයුරින්ම ඉදිරියට ගෙන යන බව මා දැනුම් දුන්නා. එසේ නම් අපට ජීඑස්පී ප්ලස් සහනය ලබා දීමට හොඳම අවස්ථාවක් උදා වී ඇති බව යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරිය මා සමඟ පැවසුවා.

යහපාලන රජයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සියල්ලම එම ක්‍රියාවලියෙහි වෙනසක් නොකර ඉදිරියට ගෙන යනවා නම් ලබන මාර්තු – මැයි මාස අතරතුර දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවතත් අපට ලබාගැනීමට හැකියාව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles