Friday, November 15, 2024

ජී.එස්.පී සහනය මැයි මාසයේ

ජී.එස්.පී සහනය ශ්‍රී ලංකාවට යළි ලබාදීම සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන මැයි මාසයේ දී යුරෝපා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.

එම සහනය යළි ලබාගැනීම සම්බන්ධයෙන් වන ක්‍රියාදාමයේ දී සැළකිය යුතු ප්‍රගතියක් මේ වනවිට ශ්‍රී ලංකාව පෙන්වා තිබෙන අතර ඒ අනුව ජී.එස්.පී සහනය ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළකරන බව දකුණු ආසියානු රටවල සම්බන්ධතා පිළිබඳ නියෝජිත කණ්ඩායමේ සභාපති සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජීන් ලැම්බර්ට් මහත්මිය සඳහන් කරයි.

කෙසේ වුවද ජී.එස්.පී සහනය ලබාගැනීම සඳහා වන සම්මුතීන් 27ක් යුරෝපා සංගමය විසින් නියමකර තිබෙන අතර ඒවායේ ප්‍රගතියක් පෙන්නුම් කළයුතු බව ද ඒවායින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් මේ වනවිට ඉටුකර තිබෙන බව ද ඒ මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව ජී.එස්.පී සහනය යළිත් වරක් ශ්‍රී ලංකාවට ලබාදෙනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයට අදාළ වාර්තාව යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ඇය පෙන්වා දෙයි.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ දූත මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ඊයේ (1) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ජාතික සංහිදියාව සහ කාන්තා බලගැන්වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් පෙරේදා (31) ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජීන් ලැම්බර්ට් මහත්මිය කටයුතු කරන අතර ඇයට අමතරව සජාඩ් කරීම් (එක්සත් රාජධානිය), තෝමස් මාන් (ජර්මනිය) සහ උල්රික් මුලර් (ජර්මනිය) මහත්ම මහත්මීන් ද එම නියෝජිත කණ්ඩායමට අයත් වෙති.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජීන් ලැම්බර්ට් මහත්මිය පෙන්වා දුන්නේ ජී.එස්.පී සහනය ලබාගැනීම සඳහා වන ක්‍රියාදාමයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි බවත් ජාතික සංහිඳියාව ඇතිකිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම, මාධ්‍ය නිදහස, සැකකරුවන් නිදහස් කිරීම ආදී කරුණු කිහිපයක් මේ සම්බන්ධයෙන් ඉටුකළ යුතු බවත්ය.

ජී.එස්.පී සහනය ලබාගැනීමේ දී යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන බව පෙන්වාදුන් ඒ මහත්මිය යුරෝපා සංගමයේ නියමයන් ශ්‍රී ලංකාවට පමණක් නොව සෑම රටකටම එකසේ පොදු වන බව ද සඳහන් කළාය.

මානව හිමිකම් සුරැකීම සහ ජාතික සංහියාව ඇතිකිරීම සඳහා ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන බව සඳහන් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජීන් ලැම්බර්ට් මහත්මිය අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ස්ථාපිත කළ කාර්යාලයේ ප්‍රගතිය අගය කරන බව ද පැවසුවාය.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී විග්නේෂ්වරන්, නැ‍ඟෙනහිර පළාත් ප්‍රධාන ඇමැති නසීර් අහමඩ් මහත්වරුන් හමුවී සාකච්ඡා කරන ලද අතර ත්‍රිකුණාමලය, මඩකළපුව යන ප්‍රදේශවල සංචාරය කරමින් රාජ්‍ය, පළාත් පාලන සහ සිවිල් සමාජ නියෝජිතයන් හමුවූහ. ඊට අමතරව ඔවුන් යුරෝපා ආධාර මත ත්‍රීකුණාමලයේ සහ මඩකලපුවේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වූහ.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ දූත මණ්ඩල ප්‍රධානී ටන්ග් මාර්ගුවේ, කවුන්සලර් පෝල් ගොඩ්ෆ්‍රි මහත්වරු ද මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles