Monday, September 23, 2024

කෝප් වාර්තාව ගැන අගමැති කතා කරයි

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදි සිදුවූ බව කියන වංචාව පිළිබඳ කෝප් කමිටුව සකස්කළ වාර්තාව පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02දා) පළමුවරට සිය අදහස් දැක්වීය. ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අගමැතිවරයා  පැවසීය.

“මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එළිදැක්වුණු කෝප් වාර්තාව අපගේ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුයි. මා විසින් පත්කළ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනාවක් පැමිණියා. ඒ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවයි. මෙවැනි අවස්ථාවක රාජපක්‍ෂ රෙජීමය සිටියා නම් කරන්නේ කුමක්ද? සියලුම බලය යොදා චෝදනාව යටපත් කරනවා. පළමුවෙන්ම අප කළේ යහපාලන ආණ්ඩුවක් ලෙස අපට තිබෙන චෝදනා විභාග කිරීමයි.

කෝප් වාර්තාව නිකුත් වූ පසු කෑගහන පිරිස ගැන මා පුදුමයට පත් වෙනවා. එලෙස කෑගහන සමහර අයට විරුද්ධව චෝදනා තිබෙනවා. සමහරුන් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අයයි. මෙලෙස කෑගහන පිරිස මට විරුද්ධවත්, අල්ලස් කොමිසමට ගියාලු. අල්ලස් කොමිසම මට කටඋත්තරයක් ලබාදෙන්නැයි පැවසුවොත් කිසිදු පැකිළීමකින් තොරව ගොස් කටඋත්තර ලබා දෙනවා. මම මිනිසුන් ගෙනැවිත් අල්ලස් කොමිසම ඉදිරිපිට කෑගහන්නේ නැහැ. බුද්ධාගම අනතුරේ, ජාතිය අනතුරේ යනුවෙන් කෑ ගහන්නෙත් නැහැ.

මේ හොරකම් සියල්ල පිළිබඳ පරීක්‍ෂණ අප ඉදිරියට ගෙන යනවා. ඒ ගැන හොයනවා. සොරකම් කළ අයට දඬුවම් දෙනවා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා” යනුවෙන්ද අගමැතිවරයා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles