Saturday, September 21, 2024

සංගීත ක්‍ෂේත්‍රයේ යුගයක නිමාවක්

ලාංකේය සංගීත ක්ෂේත්‍රයට ගීත කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකර හෙළයේ මහා ගාන්ධර්වයාණන් ආචාර්ය පණ්ඩිත ඩබ්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගත්තේ අප සංගීත ක්ෂේත්‍රයේ යුගයක නිමාව සනිටුහන් කරමින් යැයි ඩබ්.ඩී. අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.එම ශෝක පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ඉපිද මැරෙන, යළි ඉපදෙන අනියත ලෝ දහම පිළිබඳව ගීතයෙන් අප හදවත් මත ලියා තැබූ එතුමා නික්ම යන්නේ ඒ අනියත ලෝ දහමට හිස නමමින් වුව, ඒ නික්ම යාමෙන් හිස්වන ඉඩ කිසිසේත් පුරවාලිය නොහැකි බව සිහිත් කරනුයේ මහත් සංවේගයෙනි.
ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා නම් වූ ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ‘අමරණීය ආත්මයක් ලද දේවයාණන්” යන අරුතින් අමරදේව ලෙසින් නම් කිරීම කොතරම් සාධාරණදැයි එතුමා අප අතරින් සමුගත් මේ ශෝකී මොහොතේ මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.
ළමා වියේ සිටම සංගීතය කෙරෙහි බැඳුණු සිතින් සතතාභ්‍යාසයෙන්, අධ්‍යනයෙන් නිරන්තර කැපවීමෙන් තම හැකියාවන් ඔප මට්ටම් කරගත් ආචාර්ය අමරදේවයන් ලාංකේය ජන සංගීතය සහ භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කර ගනිමින් හෙළ සංගීතයට නැවුම් සංගීත සම්ප්‍රදායක් හඳුන්වා දෙන්නට පුරෝගාමීව කටයුතු කළේය. ආචාර්ය අමරදේවයන්ගේ ගැඹුරු, සුගායනීය හඬ සදාතනිකව අප හදවත් ආමන්ත්‍රණය කරනු ඇත. ඒ අර්ථපූර්ණ, රස පූර්ණ ගී මහෝඝය, එතුමන් නිමැවූ සුමධුර ස්වර රචනා අප හෙළ දෙරණ මත සදාකල්හිම රාවප්‍රතිරාව නංවනු නොඅනුමානය.
පණ්ඩිත් අමරදේවයන්ගේ විශිෂ්ටත්වය පවතිනුයේ සංගීතඥයකු, ගායකයකු, වාදකයකු ලෙස පමණක් නොවේ. එතුමා පුළුල් සාහිත්‍ය ඇසුරක් පැවැති හෙළ බස මෙන්ම පෙරපර දෙදිග භාෂාවන් ගණනාවක හසල දැනුමක් ඇති මහා සාහිත්‍යවේදියෙකි.
මා රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ උගනිමින් සිටියදී එවකට විදුහල්පති එච්.ඩී. සුගතපාල මහත්මාගේ මඟපෙන්වීම යටතේ සංගීත විෂය ධාරාව උගැන්වීම සඳහා අමරදේව මාස්ටර් පැමිණි අතර එතුමාගෙන් සංගීතය ඉගෙනීමේ දුලබ වරම මටද හිමිවිය. එතුමාගෙන් ගායනය ඉගෙනගත් අසාර්ථකම ගෝලයන් අතර මමද වූයෙමි.
පණ්ඩිත අමරදේවයන්ගේ අභාවයෙන් ශෝකයට පත් දයාබර බිරිඳ විමලා අමරදේව මහත්මිය, දූ දරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමි. අප මහා ගාන්ධර්වයාණන් හට සමස්ත ජනතාව වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පුද කරමින් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles