අසූ දහසේ සොරකම පරවියන්ගෙන් අසුවේ

0
667

කිරිවත්තුඩුව ප්‍රදේශයේ දේවාල භූමියක භාර ඔප්පු කිරීමට බැතිමතුන් ලබාදුන් පරෙවියන් හතළිස් දෙනෙකු සහ එම නිවසේ තැන්පත් කර තිබූ රුපියල් අසූ දහසක මුදලක්ද සොරකම් කළ සැකකරුවන් දෙදෙනකු එම සොරාගත් පරෙවියන් අලෙවි කිරීමට යාමේදී ඊයේ (07) දා කහතුඩුව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ කිරිවත්තුඩුව මූණම‍ලේවත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙපළකි.
කහතුඩුව ‍පොලිස් වසමේ කිරිවත්තුඩුව මූණම‍ලේවත්ත 9 පටුමගේ පවත්වාගෙන ගිය දේවාලයක මෙම සිදුවීම වී ඇත. පසුගිය 28 දින එම දේවාලයේ කපු මහතා සහ නිවැසියන් පිට පළාතක පැවැති ශාන්තිකර්මයක් සඳහා පිටත්ව ගොස් නැවත පසුගිය (01) දින එම දේවාල භූමියට පැමිණෙන අතර තුර මෙම සොරකම සිදුව තිබිණ. අනතුරුව ‍පොලීසියට කළ පැමිණිල්ල අනුව ‍පොලීසිය ගමේ සහ තදාසන්න ප්‍රදේශයන්හි පරවියන් ඇති කරන නිවෙස් විමර්ශනයට ලක්කළ අතර ලද තොරතුරක් අනුව සොරාගත් පරවියන් දෙහිවල ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කිරීමට සූදානම් වූ මොහොතේ එම පරවියන් සමගම සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එම පරෙවියන් අදාළ දේවාල භූමියෙන් සොරාගත් බවට අනාවරණය වූ බවත්   සොරකම් කළායැයි කියන මුදල් සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් ‍පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කහතුඩුව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක චන්දන ජයනාත් මහතාගේ අධීක්ෂණයෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක එච්.ඒ.එස්. පත්ම කුමාර මහතාගේ මෙහෙයවීම මත ‍පොලිස් සැරයන් (41099) ජයලාල්, ‍පොලිස් කොස්තාපල්වරුන්වන (19646) රණසිංහ, (5013) බණ්ඩාර, (76495) ක්‍රිෂාන්ත, (84753) අමරසිංහ, (86093) පෙරේරා යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here