රටේ අනාගතය පිළිබඳව දකින සෑම සිහිනයකම යථාර්ථය සංහිඳියාව මත රැඳී ඇති බවත්, එම වදන්වල සත්‍ය තේරුම් නොගත් ඇතැම් පිරිස් එය අවඥාවෙන් බැහැර කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ මොරටුව, සර්වෝදය මධ්‍යස්ථානයේ දී පෙරේදා (09) සවස පැවැති සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ 85 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට එක් වෙමිනි.
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා වෙනුවෙන් සැකසුණූ ස්වාභාව ශක්ති අභිනන්දන ගීතය ආචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ගායක කණ්ඩායම විසින් ගායනා කරන ලදී.
ජනාධිපතිවරයා විසින් කීර්තිමත් සමාජ සේවකයකු වන ඒ. ටී. ආරියරත්න මහතා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය. ආරියරත්න මහතා ද ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්විණි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද සඳහන් කළේය.
“දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වූ ද, සිතට එකඟව කතා කළ හැකි වූ ද, සමාජ සේවකයකු වන ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ අසූ පස් වැනි ජන්ම දිනය සැමරුම් උළෙලට එක්වීමට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා.
පුද්ගලයන්ට ගරු කරන, පුද්ගලයන් පිළිබඳ කතා කරන පිරිස් වෙත ත්‍යාග ප්‍රදාන කරන උත්සව සඳහා අපිට ආරාධනා ලැබෙනවා. නමුත් හෘද සාක්ෂියට එකඟව යථාර්ථවාදීව යම් පුද්ගලයකු පිළිබඳ කතා කිරීමට අවස්ථාව හිමි වන්නේ ඉතා කලාතුරකින් බව කිව යුතුයි. ඒ. ටී. ආරියරත්න මහතා වැනි ජාතික වශයෙන් සහ අන්තර් ජාතික වශයෙන් ගෞරවයට, ආදරයට, කීර්තියට, ප්රණාමයට සහ සම්මානයට පාත්‍ර චරිතයක් පිළිබඳ කතා කිරිමේ අවස්ථාව අද හිමි වී තිබෙනවා. ඒ මහතාගේ දීර්ඝ කාලීන සමාජ සේවය පිළිබඳ මම සතුටු වෙනවා. මානවවාදී සමාජයක් බිහිකිරීමට මිනිසකු ලෙස වගකීම් යුතුකම් ඉටු කිරීමේ දී එම සේවය ඇගයූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. වසර 1969 දී පිලීපීනය මැග්සයිසයි සම්මානය ඒ මහතාට මුලින්ම හිමි වු ජාත්‍යන්තර සම්මානයයි. එතැන් සිට 2012 අමෙරිකාව ලබා දුන් සම්මානය දක්වා සම්මාන රැසකට ඒ මහතා හිමිකම් කියා තිබෙනවා. ලෝකයේ රාජ්‍යයන්, විවිධ රජවරුන්, අන්තර් ජාතික සංවිධාන, විවිධ ස්වේච්ඡා සංවිධාන එම සම්මාන පිරිනමා තිබෙනවා.
ඒ මහතා වාසනාවන්ත, භාග්‍යවන්ත, පින්වන්ත පුද්ගලයෙක්. මෙවැනි චරිත මුළු මහත් ජාතියට ආඩම්බරයක් ලෙස මම දකිනවා. පාසල් යන අවදියේ සිට සමාජ සේවයට කැප වූ ඒ මහතා මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන් වෙන් කළා. එය පහසු කටයුත්තක් නොවෙයි. එවැනි කැපවීමක් කිරීම පහසු නෑ. එවැනි අධිෂ්ඨානයක්, හැඟීමක් ඇති වෙන්නේ කලාතුරකින්. නමුත් එම හැඟිම, අධිෂ්ඨානය, බලාපොරොත්තුව දීර්ඝ කාලීනව ඒ මහතාට තිබුණා. එම පින්වන්තකම ගැන 85 වැනි ජන්ම දිනයේ දී අපිට ආඩම්බරයෙන් කතා කිරීමේ හැකියාව ලැබුණා. ඒ මහතාට දීර්ඝායුෂ, නිරෝගිබව ප්‍රාර්ථනා කරනවා. අපේ රටට, ලෝකයට සේවය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා අපි ඒ මහතාට ආශිර්වාද කරනවා. සුබ පතනවා.
ඒ මහතාගේ දීර්ඝගමන මේ රටේ ලොකු පොඩි සෑම කෙනකුම අගය කරනවා. එහි ප්‍රතිඵල ඔබ පෙන්වා තිබෙනවා. දීර්ඝ ගමනේ දී කොළඹ සිට ඈත ගම් දනව් දක්වා රටේ සතර දිග්භාගයට සර්වෝදය ආයතනයේ කාර්යාල පිරී තිබෙනවා. ඒ නිසා මුළු රටම සර්වෝදය නිර්මාතෘවරයා කියු විට, ආචාර්ය ඒ. ටී. ආරයරත්න මහතා කියූ විට දන්නවා. සෑම කෙනකුම ඔබට ගෞරව කරනවා.
බොහෝ විට දේශපාලනඥයන් නම් වැඩිපුර බලයේ ඉන්න හොඳ නෑ. වැඩිපුර දේශපාලනයේ සිටින දේශපාලනඥයන්ට අපායේ වැඩි කාලයක් රැඳෙන්න වෙනවා. අඩුවෙන් බලයේ සිටියොත් අඩුවෙන් හෝ අපායේ ඉන්න වෙනවා. අනුන් කරන පව්වලටත් තමන්ට අපායේ ඉන්න වෙනවා. ඒ නිසා අපි රටක් ලෙස ඉදිරියට යෑමට සියලු දෙනාගේ සහාය, කැපවීම, පරිත්‍යාගශීලිබව ඉතා වැදගත්. ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ ආරියරත්න මහතාගේ කතාවේ දී ඇගයීමකට ලක්කළා. ජාතික සංහිඳියාවට, රට ගොඩනැඟීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව මේ කරන ව්‍යායාම, උත්සාහය ඒ මහතා අගය කළා. ආරියරත්ත මහතා වැනි ලෝකය සමාජය හඳුනන, මිනිසුන් හඳුනන, ලෝකය දකින කෙනකුට මේ පිළිබඳ තේරුම් ගැනීමේ හැකියාව තිබුණ ද මෙය තේරුම් ගත නොහැකි විශාල පිරිසක් මේ රටේ සිටිනවා.
සමඟිය, සදාචාරය, විනය, හික්මීම, එකමුතුකම රටක් ගොඩනැඟීමට අවශ්‍යයි. බලය රටේ සහ ජනතාවගේ යහපත සඳහා විය යුතුයි. සංහිඳියාව පිළිබඳ කතා කිරීමේ දී අද මේ සභාවේ බොහෝ දෙනා පැමිණ ආරියරත්න මහතාට ගෞරව කළා. ඒ අතර සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සෑම කෙනකුම හිටියා. ආරියරත්න මහතා මේ රටේ සංහිඳියාව ගොඩනැඟීමට ආදර්ශමත් චරිතයක්. සෑම කෙනකුගේම ගෞරවය ඒ මහතාට හිමි වුණා.
රට ගොඩනැඟීමට ගෙන එන ලද සංහිඳියාව යන වචනය පිළිබඳ බොහෝ අය අපහාස, උපහාස, උසුළු විහිළු කරනවා. නමුත් රටේ අනාගතය රඳා පවතින්නේ මේ සංහිඳියාව කියන වචනයේ යථාර්ථය තුළයි. බොහෝ විට එය අවබෝධය තේරුම් ගත් අය සිටිනවා. රට ගොඩනැඟීමට දේශපාලන පක්ෂවල තිබිය යුතු සංහිඳියාව, ජාතීන් අතර තිබිය යුතු සංහිඳියාව, ආගමික ලෙස තිබිය යුතු සංහිඳියාව අපි තේරුම් ගත යුතුයි. ආරියරත්න මහතා දේශපාලනඥයකු නොවෙයි. ඒ මහතා ආධ්යාත්මිකවාදියෙක්. ඒ නිසා බරපතළ ලෙස චරිතය හික්මවා ගෙන සර්වෝදය දීර්ඝ කාලීනව පවත්වා ගෙන ගොස් තිබෙනවා.
විදේශ සංචාරවල දී ඒ මහතාගේ සර්වෝදය පිළිබඳ මා සමඟ කතා කළ විදේශ රාජ්‍ය නායකයන් සිටිනවා. පසුගිය ඉන්දීය රජයේ සිටි සෞඛ්‍ය ඇමැතිවරයා මා හමු වූ සෑම අවස්ථාවකම ආරියරත්න මහතා පිළිබඳ සිහිපත් කරනවා. චරිතයකින් දකින ආදර්ශය අපි අනෙකුත් චරිත හා එක් කරන්න ඕනෑ. පූජාච පූජනීයානං, ඒතං මංගල මුත්තමං. පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක්. සර්වෝදය ව්‍යාපාරය ඉදිරියට පවත්වා ගෙන යෑමට ධෛර්යය, ශක්තිය, දීර්ඝායුෂ ඒ මහතාට ප්‍රාර්ථනා කරනවා.”
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා
“සර්වෝදයේ නායකත්ව ලෙස මා හැඳින්වුවද අද එහි කිසිදු වගකීමක් මා සතු නොවන බව කිව යුතුයි. අවුරුදු 14 සිට 71 වසරක් මේ වෙනුවෙන් කැප වුණා. සර්වෝදය පවුලේ සෑම කෙනකුටම මෙහි ඉදිරි සේවය භාර දී තිබෙනවා. ඔවුන් එය භාරගැනීම සතුටට කරුණක්. කිසිදු අයකු විශාල බලයක් සියතට පැමිණි විට එය අත්හැරීමට කැමැති වන්නේ නෑ. නමුත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සතු බලය බෙදාදීමට කටයුතු කරනවා. ඒ මහතා වෙනස් ලක්ෂණ තිබෙන නායකයෙක්. ඒ මහතා විධායක බලතලවලින් නිදහස් වීමට කොමිසම් සභා ස්ථාපිත කර තිබෙනවා.
මගේ ජීවිතයේ ඉතිරි කාලය වත්මන් ආණ්ඩුවේ රට නංවන වැඩපිළිවෙළ වෙනුවෙන් කැප කීරීමට අදහස් කර සිටිනවා. ඒ සඳහා බලවේග තුනක් අවශ්‍යයි. ඉන් පළමු වැන්න ධර්ම ශක්තියයි. ආධ්‍යාත්මික වශයෙන් විශාල පිරිහීමක් රටේ සිදුව තිබෙනවා. පක්ෂ ලෙස බෙදී සිටීමෙන් රටේ ප්‍රශ්න රැසක් ඇති වුණා. ජාතික සංහිඳියාව ඇති කිරීමේ මුලික බීජය වන ජනතාවගේ චිත්ත ශක්තිය නඟා සිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. සෑම දිස්ත්‍රික්කයකම සිටින සර්වෝදය සාමාජිකත්වයෙන් එය සිදු කිරීමේ හැකියාව තිබෙනවා. එය අසීරු ඉලක්කයක් නොවෙයි. රටක් ලෙස ඉදිරියට යෑමට ධර්ම ශක්තිය මෙන්ම ජනශක්තිය අවශ්‍යයි. අපේ රටේ ජන නීතියක් තිබෙනවා. සංහිඳියාව ඇති කිරීමට රාජ්‍ය ශක්තිය කොතෙක් ප්රයත්න දැරූවද ධර්ම ශක්තිය සහ ජන ශක්තිය නොමැතිව ප්‍රශ්න නිරාකරණය වන්නේ නෑ.
මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, තිරසර සංවර්ධන සහ වනජීවි ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිනී තලතා අතුකෝරළ, කම්කරු සබඳතා ඇමැති ජෝන් සෙනෙවිරත්න, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහත්ම මහත්මීහු ද, පළාත් දේශපාලනඥයෝ ද, රාජ්‍ය නිලධාරිහු ද මේ අවස්ථාවට එක්වී සිටියහ