Wednesday, September 25, 2024

ෆිදෙල් කැස්ත්‍රෝ අපේ කාලයේ වීරයකුගේ සමුගැනිම

ජීවත් වන විප්ලවවාදියකුගේ පුද්ගල ප්‍රතිරූපය වන්දනාවට ලක්කළ යුත්තක් නොවේ. මෙහි රට පාලනය කරන්නේ මිනිසුන් මිස දෙවියන් නොවේ – ෆිදෙල් කැස්ත්‍රෝ මුහුණ පුරා වැවුණු රැවුලකින් යුත් ෆිදෙල් අලිහන්ද්‍රෝ කැස්ත්‍රෝ රූස් නමැති උත්තුංග දේහධාරි විප්ලවවාදියා කියුබාවේ හෝ ලතින් අමෙරිකානු කලාපයේ පමණක් නොව සමස්ත ලෝකයේම වාමාංශික දේශපාලනික ක්‍රියාකාරිත්වයේ ජිවමාන සංකේතය බදු විය.

ඔහු අවුරුදු 90ක් ආයු වළදා දිවි රඟමඬලින් සමුගත්තද කියුබානු මෙන්ම ලොව සෙසු ප්‍රගතිශිලී ජනතාවගේ සිත්තුලැ කස්ත්‍රෝ සදාතනික වීරයෙකි එහෙත් මේ දැවැන්ත නායකයා වෙනුවෙන් කියුබාවේ ඉදිවුණු ප්‍රතිමාවක් නැත. නම් කෙරුණු වීථියක් නැත. ඔහුගේ නමට කැපවු ස්මාරක, ගොඩනැගිලි, සමිමන්ත්‍රණ ශාලා, වරාය, ගුවන්තොටුපොළ හෝ වෙනත් සිහිවටනයක් නැත. 1959 කියුබානු විප්ලවය අවසන් වීමෙන් පසු එහි පුරෝගාමියා වු ෆිදෙල් කස්ත්‍රෝගේ කිරිගරුඬ ප්‍රතිමාවක් එරට සුප්‍රකට මුර්ති ශිල්පී එන්සෝ ගාල්ලෝ ව්‍යාපාර්දි විසින් නිර්මාණය කරනු ලැබිය. එය ෆිදෙල් වෙනුවෙන් කියුබාවේ ඉදිවු ප්‍රථම හා එකම ප්‍රතිමාවය. එහෙත් එම ප්‍රතිමාවද ෆිදෙල්ගේ අනින් කඩාබිඳ දමනු ලැබිය. ඔහු දැඩි ලෙස විශ්වාස කළ දෙයක් වුයේ වාමාංශික විප්ලවවාදි ජනතා නායකයෙකු ජනතා සිත්තුළ ජීවත්වනවා විනා පෙති පිළිම හා ස්මාරක තනා පුද්ගල වන්දනාවට ලක් නොවිය යුතු බවයි. මෙය ලෝකයේ බිහිවු අනෙකුත් වාමාංශික දැවැන්තයන් පවා අනුගමනය නොකරන පියවරකි. එමෙන්ම ලෝකයේ වාමාංශික හෝ වේවා දක්ෂිණාංශික හෝ වේවා ප්‍රජාතාන්ත්‍රික හෝ කුමණාකාරයෙන් ජනතා සේවයට පිවිසෙන දේශපාලන නායකයන්ට විශේෂයෙන්ම තමන්ගේ නමින් පිළිම, ස්මාරක, වීථි ගොඩනැගිලි, පාලම් බෝක්කු ආදි එකි මෙකි නොකී සියලු විවිධ ස්ථානයන්හි තම නම සහිත පුවරුවක් අටවා ගැනිමේ මේනියාවෙන් පෙළෙන නායක

කාරකාදින්ට ෆිදෙල් ලබා දී ඇත්තේ වරක් දෙවරක් නොව යළියළිත් සිතා බැලිය යුතු ආදර්ශයකි. එහෙත් ඔහු කිසිවිටකත් තම සෙසු විප්ලවිය සගයන් ප්‍රසිද්ධියට පත්වීම වලක්වා ලු අයකු නොවේ‍ ලොව සදාතනික විප්ලවිය සංකේතය වශයෙන් සැළකෙන අර්නස්ටෝ චේ ගෙවාරා හෙවත් චේ ඇතුළු අනෙකුත් විප්ලවිය නායකයන්ගේ පිළිම රූප හා ස්මාරක කියුබාව පුරා දක්නට ඇත්තේ එබැවිනි.

ෆිදෙල්ගේ අභාවයෙන් පසු මේ දක්වා ලෝක මාධ්‍ය ඔහු පිළිබදව විවිධ දේ කථාකර තිබේ.

ඔහුගේ ජිවිත කථාව දේශපාලනික ගමන්මග කියුබානු විප්ලවය සිදුවු ආකාරය හා එහි රසමුසු තැන් ආදිය ශ්‍රී ලංකාවේද මාධ්‍ය මගින් අපට අසන්නට දකින්නට ලැබිණ. මේ සටහනේ අරමුණ එම තතු යළි පුන පුනා කීම නොවේ. ෆිදෙල් නමැති නායකයාගේ භූ දේශපාලනික භූමිකාව හා ඔහුගෙන් පසුව කියුබාවේ හා ලතින් අමෙරිකානු වාමාංශික දේශපාලනයේ ගමන්මග විමසා බැලිම මේ සටහනේ අරමුණයි.

’මම කමියුනිස්ටිවාදියකු හෝ විප්ලවිය ව්‍යාපාරයක් නොවෙමි’ මම මාක්ස් ලෙනින්වාදියෙක්මි. මගේ ජීවිතයේ අවසන් දවස තෙක් එසේ දිවි ගෙවමි’ මට ඔබට සහතික විය හැකියි මගේ ප්‍රථම හා මුඛ්‍ය අභිමතාර්ථය වන්නේ මගේ රටයි’ අපි දේශපාලනඥයෝ නොවෙමු. අපගේ විප්ලවය සිදුකළේ දේශපාලනඥයන් පහ කිරිමටයි’

ෆිදෙල්ගේ ඉහත සදහන් ප්‍රකාශ තුළින් ඔහු නිරූපනය කළ දේශපාලනික භූමිකාවේ මුහුණුවර කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවේ. කැස්ත්‍රෝ නමැති තරුණ නිතිවේදියා විප්ලවීය සටන්කරුවකු බවට පත්කරන්නේ කියුබාවේ පැවති දුර්දාන්ත පාලනයයි. ෆුල්ජෙන්සියෝ බැටිස්ටා නමැති ඒකාධිපති පාලකයා අමෙරිකා එක්සත් ජනපදයේ ආශිර්වාදය ඇතිව 1952 සිට 1959 දක්වා 20000ක් කියුබානුවන්ට මරු කැඳවමින් ගෙන ගිය පාලනය අවසන් කොට ජනතාවට මුක්තිය ලබාදිම කස්ත්‍රෝ හා චේ ඇතුළු විප්ලවවාදින්ගේ අරමුණ විය. කියුබානු විප්ලවයෙන්ද 5000කට අධික කියුබානු ජාතිකයෝ මියගියහ. විප්ලවය යනු රෝසමල් යහනාවක් නොවේ යනුවෙන් කැස්ත්‍රෝ ප්‍රකාශ කළේ එබැවිනි. 1959 බැටිස්ටා හා සහචරයන් කියුබාවෙන් පලා යන්නේ කොල්ල කෑ ජාතික ධනය අමෙරිකානු ඩොලර් කෝටි 70කට අධික මුදලක්ද රැගෙනයි.

කියුබානු විප්ලවවාදි ව්‍යාපාරය පුර්ණ කමියුනිස්ටි දේශපාලනික ව්‍යාපාරයක් නොවේ. එය මුල් යුගයේදි වඩාත් ජාතිකවාදි මුහුණුවරක් ගත් ඇතැමි වාමාංශික ලක්ෂණවලින් යුක්ත විය. 1959 බැටිස්ටා පළවාහැර බලය ලබාගත් අවස්ථාවේදි අමෙරිකාව කැස්ත්‍රෝගේ නායකත්වයෙන් යුත් පාලනය පිළිගත්තේ එබැවිනි” එහෙත් පසුව ක්‍රමයෙන් ව්‍යාපාර ජනසතුකරණය වැනි වාමාංශික දේශපාලනික ක්‍රියාකාරකම් කියුබාවේ පාලනය මගින් ක්‍රියාත්මක කරද්දි අමෙරිකාවේ ස්ථාවරය පසමිතුරු ආකල්පයක් දක්වා පරිවර්තනය විය. සැබැවින්ම කියුබානු කමියුනිස්ටි පක්ෂය ස්ථාපනය කෙරෙන්නේද 1962 වසරේදීය. එතෙක් රටේ පාලනය ගෙන ගියේ විප්ලවවාදි සංවිධාන තුනක හවුලකි. පසුව එය 1962දි කියුබානු කමියුනිස්ටි පක්ෂය දක්වා වර්ධනය විය.

මාක්ස් ලෙනින්වාදි දර්ශනය වෙත යොමුවිමටත් ප්‍රථම කැස්ත්‍රෝගේ ලෝකයේ පරමාදර්ශය හා සංකේතය වුයේ කියුබානු නිදහස් නායක හෝසේ මාර්ටි ය. කස්ත්‍රෝ පාලනය තුළ වාමාංශික මුහුණුවර හා සමගාමිව ජාතිකවාදි මුහුණුවර නිරූපනය වන්නේ එබැවිනි. තමා දේශපාලනයෙහි ලා ප්‍රතිපත්තිමය හා මතවාදිමය වශයෙන් ගුරුකොට ගන්නා චරිත දෙකක් ඇතැයි කැස්ත්‍රෝ වරෙක ප්‍රකාශ කළේය. ඒ හෝසේ මාර්ටි හා කාල් මාක්ස්ය. ඒ අතරින් තමා ඉහළින්ම අදහන්නේ හෝසේ මාර්ටි බව කැස්ත්‍රෝ අවස්ථා ගණනාවකදි විවෘතවම ප්‍රකාශ කර තිබේ. කැස්ත්‍රෝ පාලනයේ මුලික ලක්ෂණ අතර කියුබානු ජාතිය ශක්තිමත් කිරිමේ සාධනීය බිමි මටිටමේ වැඩසටහන් ඇතුලත්විම ඊට උදාහරණයකි. කියුබාව තුන්වැනි ලෝකයේ රටක් වුවද අධ්‍යාපනික නිදහස් සෞඛ්‍ය හා සමාජ සුබසාධන වැඩසටහන් අතින් සංවර්ධිත රටවල් පවා පැරදවීමට සමත්වුයේ එබැවිනි.

2008 බලයට පත් බරක් ඔබාමා රක්ෂණ සමාගම්වල ග්‍රහණයෙන් අමෙරිකානු ජනතාව මුදාගෙන විධිමත් සෞඛ්‍ය පහසුකම් ක්‍රියාත්මක කිරිමේ ඔබාමා කෙයා වැඩසටහන විවිධ බලවේගවල දැඩි විරෝධය හා අකුල් හෙලීම් මැද ක්‍රියාත්මක කරද්දි අමෙරිකානු සම්බාධකවලින් දැඩි සේ බැටකමින් වුවද 1960 දශකයේ සිට ඇස්ත්‍රෝ පාලනය කියුබාවේ ඉතා විධිමත්, අමෙරිකානුවන්ට සිතා ගත නොහැකි තරමේ පවා නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කළේය. ගෝලිය වශයෙන් ගත් කළ කැස්ත්‍රෝ පාලනය වඩාත් ප්‍රකට වුයේ ලොව පුරා විප්ලවිය ජනතා ව්‍යාපාරයන්ට පරමාදර්ශයක් ලෙසිනි. දකුණු අප්‍රිකාවේ 1970 දශකයේ පැවති වර්ගවාදි සුදු පාලනය විසින් ක්‍රියාත්මක කරනු ලැබු මර්දනකාරි යුද්ධය පිටුදැකිම සදහා කියුබාව කළ හමුදා මැදිහත්විම ලොව සමාජවාදි බලවේගවල නිරන්තර කතාබහට ලක්වුවකි. එමෙන්ම කියුබාව නිරවි යුද සමයේ නොබැදි ව්‍යාපාරය සදහාත් මධ්‍යම අමෙරිකානු කලාපයේ බල තුලනය සදහාත් කැස්ත්‍රෝගේ නායකත්වය යටතේ ලබාදුන් දායකත්වය වර්තමානයේද දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන්නකි. “මගේ අදහස මුළු ලෝකයම අවබෝධ කරගෙන ඇති පරිදි දැන් ධනවාදි ක්‍රමය අමෙරිකාවට පමණක් නොව ලොව වෙනත් කිසිදු රටකට නිසි ඵල ගෙන එන්නේ නැහැ. ඒ මන්ද ධනවාදි රටාව අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන බැවිනි.

කලින් සදහන් කළ පරිදි අමෙරිකාව හා කැස්ත්‍රෝ අතර විප්ලවයේ සාර්ථක අවධියේදි අර්බුදයක් නොපැවතිණි. අමෙරිකාව බැටිස්ටා ඒකාධිපතියාගේ ආරක්ෂකයා ලෙස කැපවෙමින් විප්ලවය මර්දනය කිරිමට යුදටැංකි හා නාෆාමි බෝම්බ ඇතුළු තාක්ෂණය ඒකාධිපතියාගේ හමුදාවට ලබාදුන්නද විප්ලවය සාර්ථක වනවිට එනම් 1958 වනවිට බැටිස්ටා පාලනයට අවි තහනමක් පනවයි. එය විප්ලවය ජයගැනිමට කස්ත්‍රෝ ඇතුළු බලවේගයට පහසුවක් ගෙනදුන්නේය. එමෙන්ම ධනයද රැගෙන රටින් පලා ආ බැටිස්ටාට අමෙරිකාවේ රැකවරණ ලැබුනේ නැත. 1959 පාලනය බාර ගැනිමෙන් තෙමසකට පසු වොෂිංටනයට සංචාරයක් සදහා යන කස්ත්‍රෝට උප ජනාධිපති රිචඩි නික්සන් සමග සාකචිඡා පැවැත්විමේ වරම ලැබේ. මහ බලවතා උරණ වන්නේ කැස්ත්‍රෝ පාලනය සමාජවාදි පිළිවෙත් ක්‍රියාත්මක කරමින් සෝවියට් රුසියාව වැද්දගැනිමත් සමගයි. එම දේශපාලනික වෛරය ඉතා දුර්දාන්ත හා අමානුෂික සම්බාධක හා මිසයිල අර්බුදය වැනි අන්තර්ජාතික අර්බුද ඇතුළු සිද්ධින් ඔස්සේ යමින් අවසානයේ ඇමෙරිකා ඔත්තුසේවය 638 වතාවක් කැස්ත්‍රෝ ඝාතනය කිරිමට උත්සහ දැරිම දක්වා විකාශනය විය. ඝාතන ප්‍රයත්නවලින් දිවි ගලවා ගැනිම පිළිබද ඔලිම්පික් ඉසව්වක් තිබේනම් තමා නිසැකවම ඉන් ජයගන්නා බව කස්ත්‍රෝ ප්‍රකාශ කළේ එබැවිනි. මහ බලවතා වු අමෙරිකාව කිසිසේත් අපේක්ෂා නොකළ බියකරු සිහිනයක් වුයේ තම එළිපත්තේ එනම් ෆ්ලොරිඩා ප්‍රාන්තයට සැතපුමි 90ක් දකුණෙන් සමාජවාදි රාජ්‍යයක් බිහිවිමයි. එහි නායකත්වය විනාශ කිරිමට වොෂිංටනය උත්සුක වුයේ එම බියකරු යථාර්ථයෙන් මිදිමටයි.

අමෙරිකාව හා කියුබාව අතර සබදතා ශක්තිමත් වන දවස ගැන කස්ත්‍රෝ පුරෝකථනය කළේ මේ ආකරයෙනි. කියුබාවට එරෙහි අමෙරිකානු සම්බාධක ඉවත් වන්නේ කළු ජාතිකයකු අමෙරිකාවේ ජනාධිපති වී ස්පාඤ්ඤ සම්භවයක් ඇති පුජකතුමකු පාප් වහන්සේ ලෙස පත්විමෙන් පසු බවයි. එය යථාර්ථයක් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මඟපෙන්විම යටතේ ඔබාමා පාලනය කියුබාව සමග සබදතා ඇතිකරගැනිමෙන් යථාර්ථයක් බවට පත්විය.

විප්ලවය යනු සුරාකෑමට ලක්වන්නන් සුරාකන්නන් කෙරෙහි දියත් කරනු ලබන ඒකාධිපතිවාදයයි. කස්ත්‍රෝට එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔහු ද ඒකාධිපතියකු බවයි.

විප්ලවයෙන් පසු ප්‍රතිවිප්ලවවාදින් හා ප්‍රතිමතධාරින් මර්දනයටත් ඒකපාක්ෂික සාම්ප්‍රදායික ශෛලියේ කමියුනිස්ටි පාලනයක් ක්‍රියාත්මක කිරිමත් ඒ හරහා මානව හිමිකම් හා මාධ්‍ය නිදහස වැනි සංකල්ප කියුබාවෙන් දුරු කිරිමත් යන චෝදනාවලට කස්ත්‍රෝ ඉලක්ක විය. සමාජවාදි පාලනයෙන් මිදි කියුබාවෙන් පලාගිය ලක්ෂ සංඛ්‍යාත කියුබානු වැසියෝ අමෙරිකාවේ ෆ්ලොරිඩා හි වෙසෙති. ඔවුන් කැස්ත්‍රෝගේ මරණය ගැන උත්සව පැවැත්වු අතර එම ආකල්පය කියුබාවේ වෙසෙන ජනතාවගේ දැඩි විවේචනයට හේතුවුවකි. අනෙක් අතට කස්ත්‍රෝ ලතින් අමෙරිකානු කලාපය තුළ කැපි පෙනෙන වාමාශිංක නායකත්වයක් එනම් වෙනිසියුලාවේ හියුගෝ චාවෙස්, බොලිවියාවේ ඉවෝ මොරලේස් හා ඉක්වදෝරයේ රෆායල් කොරයා වැනි නායකයන් බිහිකිරිමට හේතුවුවකි. ෆිදෙල් නියමිත කාලයෙන් බැහැරව පාලනයෙහි ඇලි ගැලී සිටිමට කැමැත්තක් දැක්වු නායකයකු නොවේ. දැඩි ලෙස රෝගාතුරවිමත් සමග ඔහු තමා සතු බලය සහෝදරයා වන රාවුල් හා කියුබානු කමියුනිස්ටි පක්ෂයට පවරා සියලු කාර්යයන්ගෙන් විශ්‍රාම ගත්තේය. මියයන තෙක්ම ඔහු ජිවත් වුයේ දේශපාලනික විද්වතකු ලෙසිනි. අසු විය ඉක්මවුවද ඔහු හැකි සෑම අවස්ථාවකම කියුබාවේ එකම නිල පුවත්පත වන ග්‍රැන්මා පුවත්පතට දේශපාලනික ලිපි සැපයීය.

ෆිදෙල් කැස්ත්‍රෝ කියුබානුවන්ගෙන් සමුගන්නේ නව දේශපාලනික ගමනක් සදහා කියුබානුවන් පෙළගැස්වීමෙන් පසුවයි. කැස්ත්‍රෝගේ භූමිකාව කියුබානුවන්ගේ ඉදිරිගමනට පහන් වැටක් වනු ඇතැයි යන්න පොදු විශ්වාසසයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles