වගා කන්නයේ පොහොර සහනාධාරය තවමත් නෑ

0
660

වර්තමාන ආණ්ඩුව මෙවර වගා කන්නය ආරම්භ කර මාස එකහමාරකට අධික කාලයක් ගතවුවද එම ගොවීන්ට පොහොර සහනාධාර මුදල් තවමත් ලබාදී නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.

ඒ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ අම්පාර නගරයේ දී පොහොර වෙනුවට ලබා දෙන මුදල් කඩිනමින් ලබා දෙන ලෙස බලකරමින් පැවැති ගොවි විරෝධතාවයක් අවස්ථාවේ දීය.

ජලය නිකුත් කර තිබෙන ප්‍රමාණයට අනුව මාස් කන්නයේ වගා කරන වගා භූමි ප්‍රමාණයෙන් 60% ක් මේ වනවිට වගාකර තිබෙන බවද අවධාරණය කර සිටි කරුණාරත්න මහතා වැපිරීමට පෙර මඩ පොහොර යෙදිය යුතු බවත්, මේ නිසා පොහොර සහනාධාරය ලබාදීමේදී වගා කන්නය ආරම්භ කිරීමත් සමග පොහොර යෙදීම සිදුකළ යුතු බවත් පවසා සිටියේය.

වගා ක්‍රමවේදයට අනුව වපුරා දින 14කින්, දින 28කින් හා දින 45කින් පොහොර යෙදිය යුතු බවත්, එහෙත් සමහර වගාවන්වලට දින 45 ක් ගතවී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

වෙළෙඳ පොළට ලබාදී තිබූ පොහොර සහනාධාරය ඉවත් කිරීම නිසා වෙළෙඳපොළ තුළ පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් අලෙව් වන්නේ රුපියල් 3000 ඉක්ම වූ මුදලකට බවත්, මේ නිසා දුප්පත්කමින් මිරිකී සිටින ගොවීන්ට එවැනි මිලකට පොහොර ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, පොහොර යෙදීමට කටයුතු නොකළහොත් අස්වැන්නට එය ඍජුවම බලපාන බවත් නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here