Monday, September 23, 2024

චීන ආයෝජකයෝ පනහක් හම්බන්තොට එන්න සූදානම්

ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීම අපේක්‍ෂාව යැයිද එමඟින් රැකියා ලක්‍ෂයක් පමණ නිර්මාණය වන බවත් ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා පවසයි.

සම්පත් වලින් අනූන වු ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට පනහකට වැඩි පිරිසක් සූදානමින් සිටින බවත්, ශ්‍රී ලංකාව සමග අතීතයේ සිට බැදී අතීත සබඳතාව ඉදිරියටත් තව තවත් ශක්තිමත් වනවා විනා එය අඩු නොවන බවද චීන තානාපතිවරයා අවධාරණය කරයි.

‘තිරසර යුගයක තෙවසරක ඇරඹුම‘ සමරමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් රැකියා ආදායම් මාර්ග ලක්ෂ ගණනින් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව දියත් කෙරෙන ජාතික ආර්ථික වැඩපිළිවෙල යටතේ ‘ රුහුණු ආර්ථික සංවර්ධන ප්‍රදේශය‘ ශ්‍රී ලංකාව සහ චීන සමුහ ආණ්ඩුව එක්ව නිර්මාණය කරන‘ශ්‍රී ලංකා චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය‘ හම්බන්තොට මිරිජ්ජවිලදී පෙරේදා (07) සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා ඒ බව ප්‍රකාශ කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා, චීන ව්‍යාපාරිකයන් පනහකට වැඩි පිරිසක් අද මෙතැනට පැමිණ සිටින බවත්, ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටම කිසිදු කොන්දේසියකින් තොරව දුෂ්කර අවස්ථාවලදී සහයෝගයෙන් කටයුතු කර තිබෙන බවත් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින රටක් සේම චීනයට ඉතා මිත්‍රශීලී රටක් යැයිද කියා සිටියේය. ඒ නිසා ආයෝජනයන්හිදී පවා චීනය ශ්‍රී ලංකාවට මූලිකත්වය ලබාදෙන බවත් මෙරට ජනතාව සහ රජය චීනයේ ආයෝජන ඉතා කැමැත්තෙන් පිළිගන්නා බව තමා විශ්වාස කරන්නේ යැයිද කියා සිටියේය. ඉදිරි වර්ෂ කිහිපයේදී චීනය ශ්‍රී ලංකාවේ ඇමෙරිකා ඩොලර් බිලියන පහක් හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීම අපේක්‍ෂාව යැයිද එමගින් රැකියා ලක්‍ෂයක් පමණ නිර්මාණය වන්නේ යැයි වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles