Sunday, September 22, 2024

රවිරාඡ් බිරිඳගේ පෙත්සම විභාගයට

යාපනය දිස්‌ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් නිදහස්‌ කරමින් කොළඹ මහාධිකරණය දුන් තීරණයට අභියෝග කර රවිරාඡ් මහත්මිය ගොනු කළ ඇපැල් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මාර්තු 03 දා යළි විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ඇගේ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ඉකුත් බ්‍රහස්‌පතින්දා දුන් නියෝගය අවලංගු කරනු ලැබීමෙන් අනතුරුවයි.

එදින උසාවියට පැමිණ පෙත්සමේ කරුණු තහවුරු කරන ලෙස ද අවශ්‍ය ලියවිලි ඇත්නම් එදාට පෙර උසාවියට ගොනු කළ යුතු යෑයි ද අභියාචනාධිකරණය ඇගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

රවිරාඡ් මහත්මියගේ පෙත්සම නැවත කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේ ඇය සිය නීතිඥවරයා මගින් කර තිබූ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි.

සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් 6 දෙනාව සියලුම චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ගොනු කිරීමට අවසර ඉල්ලා රවිරාඡ් මහත්මිය මෙම පෙත්සම ගොනු කර ඇත.

එම නඩු තීන්දුව අහෝසි කර නඩුව ජූරියක්‌ නැතිව නැවත විභාගයට නියම කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

දීපාලි විඡේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (24 දා) පෙත්සම කැඳවන ලදී.

අධිනීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා මෙහි පෙත්සම්කාරිය වන සසිකලා රවිරාඡ් මහත්මිය වෙනුවෙන් පෙනී සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතර අධිනීතිඥ අනෝඡ් ප්‍රේමරත්න මහතා 3 සහ 4 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ද අධිනීතිඥ රසික බාලසූරිය මහතා 2 වැනි විත්තිකරු වෙනුවෙන් ද පෙනී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles