Saturday, September 21, 2024

ජනපතිගේ රැලියට වෙඩි තැබූ – මන්ත්‍රී රොෂාන් ඇතුළු 7 කට නඩු

පසුගිය ජනාධිපතිවරණයේදී පොළොන්නරුව අරලගංවිල නගරයේ ඉදිකර තිබූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී එම ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා බිය වද්දා රථවාහන කීපයකට අලාභහානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු සැකකරුවන් 07 දෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස පොළොන්නරුව මහෙස්‌ත්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා (24 දා) නියෝග කළේය.

සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහි ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත්ව ඇති බැවින් මහෙස්‌ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමරවික්‍රම, එම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන ධම්මික නිශාන්ත කුමාර, ප්‍රසන්න අනුරුද්ධ, ආනන්ද විඡේරාඡ් සහ දිඹුලාගල දේවමිත්තාලංකාර හිමි යන අය මෙහි සැකකරුවන් ලෙස නම්කර ඇත.

2015 වසරේ ජනවාරි මස 03 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී පොළොන්නරුව, අරලගංවිල නගරයේදී ජනාධිපතිවරණයේ පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළකිරීම සඳහා පිහිටුවා තිබූ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට සහ ආධාරකරුවන් පිරිසකට රථ වාහනවලින් පැමිණ පිරිසක්‌ විසින් වෙඩි තබා බියවැද්දීම හා රථවාහන කිහිපයකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ අරලගංවිල පොලිසිය ඉහත නම් සඳහන් සැකකරුවන්ට එරෙහිව පොලොන්නරුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මෙවන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබීය.

මේ අනුව එම නඩුව පෙරේදා (24 දා) පොළොන්නරුව මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්‌ථාවේ අදාළ සාක්‌ෂිකරුවන්ගෙන් සාක්‌ෂි ලබා ගැනීම සිදු කෙරුණු අතර සැකකරුවන්ට එරෙහිව අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්‌කි තිබෙන හෙයින් ඔවුන්ට විරුද්ධව මහාධිකරණයේ නඩු පවරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles