Sunday, September 22, 2024

රාජපක්ෂ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වලින්- ගසාකාපු කෙනා මෙන්න

ජනාධිපති කාර්යාලයේ ධාවනයට වාහන යොදවා ඇති බවට වංචනික ලෙස සඳහන් කර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් මුදල් අවභාවිත කරන ලද මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන්  වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ වාහන ධාවනය වන නිසා ඒ සඳහා මුදල් ගෙවන ලෙස ජනාධිපති කාර්යාලයේ කටයුතුවලට කිසිදු සම්බන්ධයක් නැති ‘ලංකා මිනරල් ඇන්ඩ් සෑන්ඩ් සමාගම‘ වෙත ජනාධිපති කාර්යාලයෙන් ලිපි යොමු කර ඇත.

ඒ සඳහා වාහන සපයා දී ඇතැයි පවසනු ලබන ආයතනවල වවුචර්පත්ද ඉදරිපත් කර ඇති අතර ඒ හරහා එක් වාහනයක් වෙනුවෙන් රුපියල් 64000.00 සිට ඉහළ මුදලක් මාසිකව ගෙවීමට ‘ලංකා මිනර්ල් ඇන්ඩ් සෑන්ඩ් සමාගම‘ කටයුතු කර ඇත. මේ සම්බන්ධව ලිපි ගොනු පවා සඟවා ඇති අතර මේ වන විට වාහන දෙකක් සඳහා ගෙවන ලද විස්තර සොයා ගැන්මට හැකිවී තිබේ.

ඒ අනුව අංක WP KB 5303 දරන මෝටර් රථය සඳහා මසකට රුපියල් 64000.00ක් බැගින් වසර ගණනාවක් පුරා ගෙවීම් සිදු කර ඇත.

එම වාහනය යොදා ඇති බවට වවුචර් පත් එවා ඇත්තේ නුගේගොඩ සුභද්‍රාරාම පාරේ ‘ප්‍රෙස්කෝ ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්‘ ආයතනය විසිනි. එසේම කැලණිය වෙදමුල්ලේ ඒ.පී.එල්. ආයතනය විසින්ද මසකට රුපියල් 75000.00ක් බැගින් වාහනයක් යෙදවීම සම්බන්ධයෙන් ලබා ගෙන ඇත.

මෙ සඳහා ගෙවීම් අනුමත කර ඇත්තේ ජනාධිපති සම්බන්ධිකරණ අධ්‍යක්ෂ හේම මාදිවෙල විසිනි.

මේ එකඳු වාහනයක් හෝ ජනාධිපති කාර්යාලයේ ධාවනයට යොදවා නැති බව මේ වන විට අනාවරණය වී තිබේ. මේ අනුව මේ මුදල් පූර්ණ ලෙසින්ම අවභාවිතා කර ඇති බව පැහැදිලිවම පෙනී යන්නකි.

අදාළ වාහන ජනාධිපති කාර්යාලයේ ධාවනය කරන ලද බවට සටහන්ද ජනාධිපති සම්බන්ධිකරණ අධ්‍යක්ෂවරයා විසින් වවුචර්පත්වල යොදා ඇති බව මේ වන විටත් සොයා ගෙන ඇත.

එසේම ගණකාධිකාරිවරුන් විසින්ද ඒ ගැන සොයා බැලීමකින් තොරව ගෙවීම් අනුමත කර ඇති අතර මේ සියලු ගෙවීම් සිදු කර අත්තේ ‘ලංකා මිනර්ල් ඇන්ඩ් සෑන්ඩ් සමාගම‘ විසිනි.

අදාළ ආයතන විසින් මේ වවුචරපත් නිකුත් කෙළේ කුමන කරුණක් නිසාද යන්නත් මේ වංචාවට අදාළ වාහන මොනවාද යන්න ගැනත් මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

ආයතන කිහිපයකින් මෙසේ එක් එක් මිල ගණන් යටතේ වාහන යෙදූ බවට වවුචර් පත් ලබා ගෙන මුදල් අයථා පරිහණයක් කර ඇති බව මේ වන විට වාර්තා වෙමින් පවතී. එසේ වුවත් රාජ්‍ය නිලධාරීන්ද මේ වංචාවට සම්බන්ධ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles