බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකේ පාඩුව කෝටි 1400ක්

0
343

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්‍රමිකතාව නිසා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් කෝටි 1400 කට අධික අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි ද එම අරමුදල විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සෘජුවම භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගත්තා නම් මේ අති විශාල අලාභය සිදු නොවීමට ඉඩ තිබුණ බව ද බැංකුව විසින් දැනට කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

මෙම අලාභයන්ට තුඩු දී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර බොහොමයක්‌ අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන ඇත්තේ දැනට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් බව ද එම ආරංචි මාර්ග හෙළිකරයි. මේ අලාභ පිළිබඳ තොරතුරු දැනටමත් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ද වාර්තා කර ඇතැයි ද දැන ගන්නට ඇත.

අර්ථසාධක අරමුදලේ සිදුව ඇති මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර අක්‍රමිකතා ගැන දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්‍ෂණයක්‌ ද ආරම්භ කර ඇති අතර, එහිදී මහ බැංකුවේ නිලධාරීන් ද පරීක්‍ෂණයට භාජන කෙරෙන නිසා මහ බැංකුවෙන් පරිබාහිර පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස මහ බැංකුව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මෙසේ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු ගැන පරීක්‍ෂණයක්‌ ආරම්භ වීමත් සමඟ එම ගනුදෙනුවලට සම්බන්ධ යෑයි කියන මහ බැංකු නිලධාරියකු මහ බැංකු සේවයෙන් ඉල්ලා අස්‌ වීමට සූදානම්වී ඇති බවත් එහෙත් දැනට පරීක්‍ෂණයක්‌ යන නිසා ඔහුගේ ඉල්ලා අස්‌වීම පිළිගෙන නැති බවත් මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් තවදුරටත්  වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here