Saturday, September 21, 2024

කු .පා .ම .මහින්ද කියන්නේ බොරු- ඇමති රුවන් විජයවර්ධන


බුද්ධි අංශ දුර්වල කොට ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන ප්‍රකාශ තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. බියගම ප්‍රාථමික විදුහලේදී ඊයේ (2) බියගම කලාපයේ ඉගෙනුම ලබන දෘෂ්‍යාබාධ සහිත දරුවන්ට ඇස් කණ්ණාඩි බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සඳහන් කරන පරිදි මෙරට බුද්ධි අංශ අඩපණ වී ඇති බවට සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවයි.

එසේ නම් දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට උත්සාහ දැරීම ව්‍යර්ථ කිරීමට හා එය හෙළිදරව් කර ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත්වූයේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටියේය. වත්මන් රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් මෙරට යළි බෙදුම්වාදය ඇතිවේදැයි හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ප්‍රකාශ සිදුකරමින් රටතුළ එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට ඔවුන් සියුම් උත්සාහයක නිරත වෙමින් ඇතැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කෙළේය. එවැනි හැසිරීමක් ඔවුන් සිදු කරන්නේ බලයට ඇති කෑදරකම නිසා බව සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන පක්ෂ දෙක එක්ව යහපත් අරමුණක් ඇතිව රට පාලනය කරන අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සිදුකළ යුතුව ඇත්තේ ආණ්ඩුවට බාධා ඇති නොකර සහය දීම බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා…..

යුද්ධය අවසන් වුණා කියලා එක රැයෙන් රට තුළ සහජීවනය සහ සාමය ස්ථාපිත කරන්න බෑ. තිරසාර සංවර්ධනයක් කරා රට ගෙනයාමට නම් රටතුළ බලය බෙදීමක් අවශ්‍යයි. නමුත් අපි රටේ ඒකීයභාවය ආරක්ෂා කළයුතුය. ඒකීය රටක් තුළ බලය බෙදිය යුතුයි. මේ දවස්වල හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම කියනවා අපි අලුත් ව්‍යවස්ථාව මඟින් බුදු දහමට තිබෙන තැන නැති කරනවා කියලා. ඒක සම්පූර්ණයෙන් අසත්‍යයි. මේ රටේ බහුතරය බෞද්ධ ජනතාව. අපි බුදු දහමට තිබෙන ගෞරවය සහ තැන නැති කරන්නේ නෑ. මේ සිදුකරන්නේ ජනතාව කුපිත කරවන බොරු චෝදනා. අපි රජයක් ලෙස බලන්නේ ජාතීන් අතර, ආගම් අතර බැඳීම් ශක්තිමත් කරමින් රට තුළ සහජීවනය සහ සංවර්ධනය ඇති කරන්නයි. ඒ සඳහා ප්‍රබලම බාධාවක් බවට උතුරේත් දකුණෙත් සිටිමින් අන්තවාදය සහ ජාතිවාදය පතුරන කණ්ඩායම් බාධාවක් වී තිබෙනවා යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles