Sunday, November 17, 2024

ලබන අවුරුද්දේ අධිවේගී මාර්ග 3ක වැඩ ආරම්භ කරනවා

මහින්ද රාජපක්ෂ යුගයේ දකුණු පළාතේ හම්බන්තොටට පමණක් සීමාවී තිබුණු සංවර්ධනය රට පුරාවටම ගෙනයන්න යහපාලන ආණ්ඩුව පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ කොළඹ – රත්නපුර ලෝලෙවල් මාර්ගයේ ඔරුගොඩවත්ත මංසන්ධිය සිට අඹතලේ දක්වාවූ ප්‍රදේශය මංතීරු හතරකින් යුතුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මුද්ගල් තැබීම නිමිතිකොට අංගොඩ මංසන්ධියේ පැවැති උත්සව සභාවකට සහභාගී වෙමිනි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාවක් පරිදි සිදුකෙරෙන මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 7000ක් වැයවන අතර ඉඩම් අහිමිවන පිරිසට වන්දි වශයෙන් රුපියල් මිලියන 3500ක් ගෙවීම ද මේ වනවිටත් සිදුවෙමින් පවතී. ගුවන්තොටුපොළක්, වරායක්, අධිවේගී මාර්ගය හා ක්‍රීඩාංගණයක් හම්බන්තොට ඉදිකළ මහින්ද රාජපක්ෂට තම පාලන කාලය තුළදී දකුණේ තරුණයින්ට රැකියා සපයන්න එකම කර්මාන්ත ශාලාවක්වත් ඉදිකරන්නට නොහැකි වූවා පමණක් නොව, ප්‍රේමදාස යුගයේ ආරම්භකරපු ඇඟලුම් කම්හල්වලින් 50%ක්ම වැසීගියේ එම යුගයේදී බව ද සඳහන් කළ ඇමැතිවරයා දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පක්ෂ, පාට බේදයක් නැතිව අපේ හම්බන්තොට තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් ලබාදෙන්න කටයුතු කරනවිට එයට විරුද්ධ වන්නේ ඇයිදැයි යන්න ප්‍රශ්නයක් බව ද කීය.ඇමැතිවරයා මෙසේද කීවේය.

අපි ශ්‍රී ලංකාව පුරාම අලුත් සංස්කෘතියක් බිහිකරලා තිබෙනවා. රටේ සංවර්ධනය සමඟ ලබන අවුරුද්දේ අධිවේගී මාර්ග 3ක වැඩ ආරම්භ කරනවා. දැනටමත් කොළඹ – මහනුවර, කඩවත – මීරිගම අධිවේගී මාර්ග දළදා වහන්සේ වැඳපුදා ගැනීමට යන සැදැහැවතුන්ට මාර්ග පහසුකම් සැලසීමට ඉදිකරගෙන යන අතර ශ්‍රීපාදස්ථානය වැඳපුදා ගැනීමට යන සැදැහැවතුන්ට මාර්ග පහසුකම් සඳහා රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. එසේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට දඹුල්ල – හබරණ මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස සංවර්ධනය කරනවා.

මේ අතර තමයි වසර 30ක් පුරාවට ඉදිකරන්න බැරිව තිබුණු මෙම ලෝලෙවල් මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලටත් මූලිකත්වයක් දී අද ඒ සඳහා මුල්ගල් තැබුවේ. 2018 වසර අවසන්වීමට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය මෙම කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙනවා‍.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා, මේ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය කිසිම කටයුත්තකට අපි මින් මතුවට මුදල් නැතැයි කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ. මෙතෙක් කල් මොනවද කරන්නේ, මොකක්ද කළේ කවදාද කරන්නේ කියලා අහපු අයට දැන් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරනකොට කිසියම් වෙනසක් පෙනේවි.

අපි මේ කරගෙන යන්නේ රාජපක්ෂ වට්ටපු ආර්ථිකය හදාගෙන යන ගමන් ජනතාව පිට බරනොපටවා රටේ හැමතැනම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මුදල් යෙදීමයි.

පසුගිය කාලයේ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියලා අපෙන් උදුරාගත්තු ජී. එස්. පී. ප්ලස් එකත් දැන් අපේ රටට ලැබිලා තිබෙනවා. මේ නිසා මේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලිව සිටි බහුතර පිරිසකට යළි තම ආර්ථිකය පිළිබඳව බලාපොරොත්තු ඇතිකරගත හැකිය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එස්. එම්. මරික්කාර් මහතා, මෙම ලෝලෙවල් මාර්ගය මා කෙරේ විශ්වාසය තබලා මාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරගත්තු ජනතාවගේ බලාපොරොත්තු ඉටුවීමක් වශයෙන් මා සළකනවා. මේ සඳහා රුපියල් මිලියන හත්දහසක් වැයකරන්න වුණත් ඊට වඩා වැඩි මුදලක් මාර්ගය අවට ඉඩම් අහිමි වුණු පිරිසට වන්දි ගෙවීමටත්, මේ මාර්ගය යටින් මෙතෙක් කාලයක් භූගත ජලය කොළඹට ගෙන ගිය නළ මාර්ගය ඉවත් කිරීම හා නැවත ඒ සඳහා නළ මාර්ගයක් අලුතින් ඉදිකිරීමටත් වැය වෙනවා.

මේවා අපිට ප්‍රශ්නයක්ව තිබියදී අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා මුදල් ඇමැතිතුමාගේ අනුග්‍රහය නිසා ඊට අවශ්‍ය සියලු මුදල් මේ වනවිටත් ලබාගැනීමට හැකිවුණා. ඒ වගේම උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැතිතුමාගේ හා එම අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුලු සියලු නිලධාරීන්ගේ සහයෝගය ද අපට ලැබුණා. එමෙන්ම මේ සම්බන්ධව එම පිරිසට මෙන්ම අප වෙත ඉඩම් බාරදුන් සැමට ද මාගේ ගෞරව ප්‍රණාමය පුදකරනවා.

විදේශ කටයුතු පිළිබඳ වැඩබලන ඇමති හර්ෂ ද සිල්වා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් සූරියාරච්චි යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles