Saturday, September 21, 2024

අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් හොඳ සේවාවක් ඉටු කරමු-ඇමති වජිර

තමන් දේශපාලන වශයෙන් මොන මතයක සිටියත් සර්වජන ඡන්ද බලයෙන් පත්වන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැවීමට රජයේ නිලධාරීන් බැඳී සිටිනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ආයතන සංග්‍රහය අනුව පත්වන රජය ආරක්ෂා කරන්න ඔබ බැඳී සිටිනවා. රජයේ සේවකයා තුල දේශපාලනය තිබිය යුත්තේ ඡන්දය දාන කල් විතරයි. එයින් පසු ඡන්දය ගනිනවිට ඔබ රජයේ නිලධාරියෙක්.

එයින් පසු බලයට පත්වන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැවිය යුතුයි. කාටවත් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකියි. ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා එසේ පවසා සිටියේ වත්මන් රජය යටතේ ඉදිකිරීම් නිම කරන හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව තෙමහල් ගොඩනැඟිල්ල සහ අති නවීන තාක්ෂණික පහසුකම් වලින් සපිරි කාර්යාල සංකීර්ණය ඉකුත් 13දා ජනතා අයිතියට පත්කිරීමෙන් පසුව පැවති ජනහමුවට එක්ව සිටි රාජ්‍ය සේවකයන් සහ ජනතාව අමතමිනි.

තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා ආයනයේ සැවොම නායකයන් වී සාමූහිකව වැඩ කරමින් ඔබගේ කාර්යාලවලට සේවාවන් සඳහා පැමිණෙන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයා රට ඉදිරියට ගෙනයන ගමනට දායකත්වය දක්වන ලෙස සැමගෙන් ඉල්ලා සිටියේය.

හොරණ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති හොරණ එජාප ප්‍රධාන සංවිධායක අධිනීතිඥ හේමන්ත වික්‍රමාරච්චි මහතා මේ ජන හමුව අමතමින් පැවසුවේ 2011 වසරේ දී පසුගිය රජය යටතේ ආරම්භ කළ මේ ගොඩනැඟිල්ල මේ රජය යටතේ අවසන් කළා. දැන් ඔබට ලස්සන ගොඩනැඟිල්ලක් තියෙනවා. වැඩ කරන්නේ නැත්නම් ලස්සන ගොඩනැඟිලි වැඩක් නැහැ. වසම් 61ක ජනතාව පසුගිය කාලයේ මහත් අපහසුතා මධ්‍යයේ මෙහි පැමිණ සේවාවන් ලබාගත්තා. දැන් ඒ කාලය ඉවරයි ඒ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් හොඳ සේවාවක් ඉටු කරමු යැයි කියාය.

වත්මන් රජය යටතේ ඉදිකිරීම් නිම කරන ලද මිලියන 6.6ක් වැය වූ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව තෙමහල් ගොඩනැඟිල්ල සහ අති නවීන තාක්ෂණික පහසුකම් වලින් සපිරි කාර්යාල සංකීර්ණය ඉකුත් 13දා රයිගම් සල්පිටි දෙකෝලත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක තලගල හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ගායනා මධ්‍යයේ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා අතින් ජනතා අයිතියට පත්විය.

මේ අවස්ථාවට හොරණ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති හොරණ එජාප ප්‍රධාන සංවිධායක අධිනීතිඥ හේමන්ත වික්‍රමාරච්චි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය, හොරණ නගර සභාව සහ ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජිතයන්, කළුතර දිස්ත්‍රික් ලේකම් ස්වදේශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා ඇතුළු රජයේ නිලධාරීන්, පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් රත්නායක මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරි මණ්ඩලය විසින් හොරණ ප්‍රාදේශීය ලේකම් එච්. ඒ. කමල් පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ මේ උත්සවය සංවිධානය කර තිබුණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles