Saturday, September 21, 2024

තේ කර්මාන්තයට පර්යේෂණ අවශ්‍යයි

තේ සම්බන්ධ පර්යේෂණ රැසක් කරනුයේ තේ පර්යේෂණ ආයතනය මඟිනි. තේ පර්යෙෂණ ආයතනය තේ වගාව සම්බන්ධයෙන් නව සොයා ගැනීම් කරන අතර ඉන් තේ කර්මාන්තයට ලැබෙන ප්‍රගතිය ඉමහත්ය. වර්තමාන තේ කර්මාන්තය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලෙස විවිධ පර්යේෂණවල නියැළීමටද තේ පර්යේෂණ ආයතනයට සිදු වේ. තේ කර්මාන්තය ඉදිරියේද සක්‍රීය කිරීම උදෙසා මේ පර්යේෂණ ඉතා වැදගත්ය. නුවරඑළියේ පවතින ප්‍රධාන තේ පර්යේෂණාගාරය හැරුණුවිට මැදරට හා පහතරට පර්යේෂණ කටයුතු සඳහා හන්තාන මැදරට ප්‍රාදේශීය මධ්‍යස්ථානයත්, රත්නපුර පහතරට ප්‍රාදේශීය මධ්‍යස්ථානයත් පවතී. තවද පර්යේෂණ දත්ත හා තොරතුරු තේ ක්ෂේත්‍රයට ගෙනයෑම සඳහා දායක වන උපදෙස් හා ව්‍යාප්ති අංශයකින්ද පස්සර, කොට්ටව, දෙණියාය හා මතුගම උපදෙස් හා ව්‍යාප්ති සේවා මධ්‍යස්ථානවලින්ද සමන්විත වේ. මීට අමතරව පර්යේෂණ කටයුතු සඳහා සහයෝගය දීමට ශාන්ත කුම්බීස් හා ශාන්ත ජෝකීම් තේ වතුවල ඇති කර්මාන්ත ශාලාද දායක වේ.

වර්තමානයේ තේ කර්මාන්තය මුහුණදෙන අභියෝග අතර කම්කරු හිඟය, කාලගුණ විපර්යාස, අධික නිෂ්පාදන වියදම, රෝග හා පළිබෝධ ආසාධන මෙන්ම අඩු පලදායිතාව ප්‍රමුඛ වේ. මේ ගැටලු නිසි ලෙස හඳුනාගෙන ඒ සඳහා විසඳුම් සෙවීමට පර්යේෂණ කිරීමත්, ඒ මඟින් විසඳුම් සොයාගැනීමත් තේ පර්යේෂණ ආයතනයේ අභිප්‍රාය වේ.

තේ ගසේ වර්ධනයට හිතකර ක්ෂුද්‍රජීවීන් යොදා ජෛව පොහොර නිෂ්පාදනය, එමඟින් පසට යොදන රසායනික පොහොර ප්‍රමාණය අවම කිරීම, පාංශු ඛාදනය වළක්වා ගත හැකි නව තෘණ වර්ග යොදා ගැනීම, තේ වගාවට සෙවණ සැලැස්විය හැකි නව ගස් හඳුන්වා දීම වැනි කාර්යයන් තේ පර්යේෂණ ආයතනයට කළ හැකිය.

තේ වගාවේ රෝග පාලනය සඳහා ඒකාබද්ධ රෝග පාලන ක්‍රම සොයාගැනීම මඟින් තේ වගාව ආරක්ෂා කිරීමද පර්යේෂණ ආයතනය මඟින් කරනු ලබන වැදගත් මෙහෙයකි. එමෙන්ම රෝග නිශ්චය කිරීම සඳහා අණුක තාක්ෂණික ක්‍රමවේද යොදාගැනීමද සිදුවේ. විවිධ දිලීර නිසා නිමි තේ දල්ලට හානිය විය හැකි අවස්ථාද තිබිය හැකිය. මෙවැනි ක්‍රම පිළිබඳව බොහෝ විට වැවිලිකරුවන් සැලකිලිමත් නැත. මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කර අවබෝධයෙන් විසඳුම් සෙවීමට තේ පර්යේෂණ ආයතනයට සිදු වේ.

තේ වගාවට අවශ්‍ය පෝෂ්‍ය කොටස් පොහොර මඟින් සැපයීමේ හැකියාව ඇත. මේ පෝෂ්‍ය කොටස්වල ප්‍රමාණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. මේ නිසා තේ වගාවට පොහොර යෙදීමේදී වඩාත් සැලැකිලිමත් විය යුතුයි. තේ ගසේ විවිධ වයස් කාණ්ඩ අනුව පොහොර යොදන්නේ නැතිව ඉන් නිසි පල නෙළාගැනීමට නොහැකි වේ. පොහොර සහනාධාරය නොමිලේ ලැබෙන හෙයින්ම බොහෝ වගාකරුවෝ ප්‍රමාණය ඉක්මවා පොහොර යොදති. එහෙත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමට නොහැකි වේ. මේ නිසා නියමිත මාත්‍රාව මතක තබාගෙන පොහොර යෙදිය යුතුය. තේ වගාව ආරම්භ කළ මුල් අවධියේදී රෝපණ ද්‍රව්‍ය ලෙස බීජ යොදාගත් අතර, තේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1950 දශකයේ සිට වැඩි අස්වනු සහිත රිකිලි තේ වගාව ආරම්භ කරන ලැබිණි. මේ යටතේ පසුගිය දශක කීපයේදී 2000, 3000 සහ 4000 කාණ්ඩයේ තේ ප්‍රභේද නුදුරු අනාගතයේදී තේ වගා කරුවන් වෙත සැපයීමට නියමිතය. එමෙන්ම සාම්ප්‍රදායික අභිජනනයේදී පටක රෝපණ ක්‍රම භාවිතය, තේ ජාන සංයුති සිතියම්ගත කිරීම වැනි පර්යේෂණ කටයුතු සිදු කෙරේ.

රෝග හා පළිබෝධ පාලනයේදී ජෛව පාලන ක්‍රමවේද හඳුන්වා දීම දේශගුණික විපර්යාස හමුවේ තේ වගාවේ පළිබෝධ ගහනය හා ඔවුන්ගේ බලපෑම අධ්‍යයනය කිරීම හා ප්‍රතිකර්ම යෙදීම, නිමි තේවල කෘෂි රසායන අවශේෂයන්ගේ අවම මට්ටම නිර්ණය කිරීම හා ඒ අනුකූලව රසායන ද්‍රව්‍ය නිර්දේශ කිරීම ද සිදු වේ.

තේ ප්‍රභේදවල අණුක ගති ලක්ෂණ අධ්‍යයනය, තේවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම හා තේ සඳහා අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමත් සිදු කරමින් පවතී. නව පරපුර අතර තේ පානය ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්ෂණික තේ, කාබනික හා සාන්ද්‍ර තේ පාන හඳුන්වා දීමත්, තේ පානයක් ලෙස නීරෝගි ජීවිතයක් සඳහා විද්‍යාත්මක අධ්‍යයනයත් කරනු ලැබේ. තේ පර්යේෂණායතනය 5000 කාණ්ඩයේ තේ පැළ රෝපණය කිරීම, තොරතුරු කේන්ද්‍ර නිල වශයෙන් විවෘත කිරීම හා සේවාලාභීන් සඳහා කෙටි පණිවිඩ ද්වාරයක් විවෘත කිරීමත් සිදු වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles