Friday, September 20, 2024

දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශයෙන් වීරවංස තවත් හිරවෙයි

තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට පසුගියදා ප්‍රකාශ කිරීමෙන් පසු ඇති වූ වාද විවාද අතරතුර නැගීසිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයත් සමග විමල් වීරවංස දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

තමන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව වෙනම මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමත් වෙනම මන්ත්‍රී කන්ඩායමකට අවශ්‍ය වරප්‍රසාදත් ලබා දෙන ලෙස විමල් වීරවංස මහතා ඉල්ලා සිටි අතර සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ ඒ බව ලිඛිතව සන්ධානයට දන්වන්නේනම් ඊට අවශ්‍ය කටයුතු තමන් සූදානම් කරන බව ය.

එහිදී කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ සන්ධානයේ වෙනම පක්ෂයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ තරඟ කර ඇත්නම් පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දැනුම් දෙන බව ය. කෙසේ නමුත් මේ අවස්ථාවේදී නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ගිවිසුම්ගත නොවී එම පක්ෂයේ සාමාජිකයන් පුද්ගලයන් ලෙස සන්ධානයෙන් තරග කළ බැවින් ඔවුන්ට සන්ධානය සමග කිසිඳු බැඳීමක් නැති බවත් ඔවුන් සන්ධානයෙන් නිදහස් කිරීමටද කිසිඳු බාධාවක් නැති බවත් ය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත්තේද පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 06ක් බවය. ඒ හැර වෙනත් පක්ෂයකට පාර්ලිමේන්තුවේ යම් වරප්‍රසාදයක් ලබාදීම කතානායකවරයා සතු වගකීමක් බව මැතිවරණ කොමිෂන් සභාව කතානායක කරු ජයසූරිය වෙත දැනුම්දී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ ජාතික නිදහස් පෙරමුණ කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් එම පෙරමුණේ මන්ත්‍රිවරු තනි තනිව සන්ධානයෙන් ඉවත් වන බවට ලිපි ඉදිරිපත් කළ යුතු බවටත් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟකොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රිවරයාද මුල්ම පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ වාමාංශික එක්සත් පෙරමුණේ වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන යන පක්ෂ නායකයයෝ පාර්ලිමේන්තුව තුළ සන්ධානය යටතේ කටයුතු කරති.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පක්ෂ නායකයකුට හිමිවන වරප්‍රසාද කතානායකවරයා විසින් ලබාදී ඇති අතර ඒ ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ එකඟතාවය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වන නිමල් සිරිපාලද සිල්වා මහතාගේ අවස්ථාව බවද කතානායක කරූ ජයසූරිය මහතා අනාවරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරුන් ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට යෑමේදී අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට බෙහෙවින් ඉඩකඩ ඇති බවටත් සන්ධානයට අයත් නොවන මන්ත්‍රි කණ්ඩායමක් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ තබා ගන්නවාද නැද්ද? යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බවටත් ආණ්ඩුවට සම්බන්ධ සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර කතාබහට ලක්ව ඇත.

පාර්ලිමේන්තුවේ එම කණ්ඩායමට හිමිවන ස්ථානය පිළිබඳ ලබන සතියේ කතානායකවරයා දැනුම්දීමක් කරනු ඇතැයිද දැනගන්නට තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles