Saturday, September 21, 2024

එජාප ප්‍රතිසංවිධානය ජූලි 30ට පෙර

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ශාඛා, ලක් වනිතා සහ යොවුන් සමිතිවල ප්‍රතිසංවිධාන කටයුතු ජූලි 30 වැනිදාට පෙර බිම් මට්ටමින් අවසන් කරන ලෙස ඊයේ (08) රැස්වුණු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් බල මණ්ඩල අගෝස්තු 31 ටපෙරද කොට්ඨාස බල මණ්ඩල ජූලි 30 දාට පෙර ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කරන ලෙසත් පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩසටහන සාර්ථකව ඉටු කරන ලෙසත් දිස්ත්‍රික් නායකයින්ට එහිදි උපදෙස් දෙනු ලැබිණි. පක්ෂ සංවිධාන කටයුතු විධිමත් කිරීමට ඊයේ කමිටු පත් කෙරුණි.

පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතාගේ මූලිකත්වයෙන් සමස්ථ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් විය.

නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාල කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු, ජන්ද පොළවලට යොදන නියෝජිතයින් දැනුවත් කිරීමට සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම,

දිස්ත්‍රික් නිලධාරීන්, දිස්ත්‍රික් කළමනාකරුවන් සහ කොට්ඨාශ කළමනාකරුවන් සම්බන්ධීකරණය කිරීමට පැවරිණි.

පක්ෂයේ භාණ්ඩාගාරික එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පරිපාලන කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් කෙරිණි. පක්ෂයේ මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණයටද කමිටුවක් පත් කිරීමට යෝජනා විය.

කමිටුවල කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පක්ෂ සභාපති මලික් සමරවික්‍රම, මහ‍ ලේකම් කබීර් හෂීම්, නියෝජ්‍ය මහ‍ලේකම් අකිල විරාජ් කාරියවසම්, භාණ්ඩාගාරික එරාන් වික්‍රමරත්න මහත්වරුන් ප්‍රමුඛ 11 දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් පත් විය.

රාජ්‍ය ඇමතිවරුන් වන රුවන් විජේවර්ධන, අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන, ලසන්ත ගුණවර්ධ සහ සුදත් චන්ද්‍ර‍සේකර මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

පක්ෂය වෙනුවෙන් කැප වුණු සාමාජිකයින් සඳහා ප්‍රතිලාභ කඩිනමින් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සියලුම ඇමතිවරුන්ට උපදෙස් ලබා දුන්නේය. විශේෂයෙන් ජන්ද පොළ නියෝජිතයින් ලෙස කටයුතු කළ අයටත් ඔවුනගේ දරුවන්ටත් රැකියා ඇතුළු ප්‍රතිලාභ ලබා දීම කඩිනමින් ආරම්භ කරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.

රැකියා ලබා දීමේ එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිමෙ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , රවි කරුණානායක සහ රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා අධීක්ෂණය කිරීමටද තීරණය විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles