Saturday, October 19, 2024

ජගත් වෙසක් උලෙළ මෙරට පැවැත්වීම භාග්‍යයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උලෙළ පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම, අප ලද විරල භාග්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. එම පණිවුඩය ‍වැඩිදුරටත් මෙසේ ය.

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට එක්වැන්න එළැඹෙන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ වංශ කතාවේ ස්වර්ණමය පරිච්ඡේදයක සමාරම්භය සලකුණු කරමිනි.

තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘභූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උලෙළ පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම, අප ලද විරල භාග්‍යයක් ලෙසින් සලකමි. එය සම්බුදු දහමේ ආශිර්වාදය ලැබූ පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හිමිකරගත් විශිෂ්ට ජයග්‍රහණයක් ද වේ.

එක්සත් ජාතීන්ගේ දාහතර වන ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රමුඛ භූමිකාව අපට පිරි නැමීම තුළ අප මෑත අවධියේ දිනාගත් සියලු ජයග්‍රහණයන් ද පෙළ ගැසී සිටින බව නිසැකය. එහි ජයග්‍රහණ උදෙසා සම්මාදම් වූ ශ්‍රී ලාංකීය සමස්ත ජනතාව යුගයක් වර්ණවත් කළ පින්වතුන් ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උලෙළේ මෙවර ප්‍රමුඛ තේමා පාඨය වනුයේ ‘සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්න ය. සමාජ සාධාරණත්වය සඳහා වන මූලික කොන්දේසිය සමානාත්මතාවයයි. බුදු සමයෙහි මූලික හරය පදනම් වන්නේ ද සමානාත්මතාවය නම් විශ්ව සාධාරණ සංකල්පය මත ය. අද දවසේ ලෝකය විසින් දැඩිව අයැද සිටින සමානාත්මතාවය, සම්බුද්ධ භාෂිතයෙහි මූලික කියැවීමක් බවට පත්වූයේ වසර දෙදහස් පන්සිය හැට එකකට ඈත බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ ය. මානව පැවැත්මේ මහා පොදු සාධකය වන සාමය ගොඩනැගෙන්නේ සමානාත්මතාවය, නිරෝගීව ස්ථාපිත සමාජයක බැව් බුදුරජාණන් වහන්සේ අනුදත් සේක.

ත්‍රිවිධ මංගල්‍යය අතුරෙන් බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවන් මංගල්‍යයත් සමඟ ඇරඹෙන අපේ ජාතික වංශ කතාව මෙවර ජාත්‍යන්තර වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඔස්සේ ධරණීය අවකාශයේ නව මානයකට දිසාගත වනු ඇත. එකී අභිමානය සමඟ සියලු පටු සීමාවන් අබිබවමින් රටක් ලෙස ගෝලීය සංසදය තුළ වඩා සාඩම්බරව නැගී සිටීමට කැපවීම මෙවර අපගේ වෙසක් අදිටන බවට පත් කරගනිමු.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ශුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles