Friday, October 18, 2024

ලකුණු 22-17කින් රාජකීයයෝ ලීග් රගර් කිරුළ දිනා ගනිති

සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරතවූ රාජකීය විදුහල් ක්‍රීඩකයන් ලකුණු 22-17කින් ත්‍රිත්ව විදුහල් පිල පරදවා සිංගර් කුසලාන අන්තර් පාසල් අවුරුදු 20න් පහළ ලීග් රගර් ශූරතාව දිනාගැනීමට සමත් විය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට බ්‍රැඩ්බි පලිහ තරග ද්විත්වයේ පළමුවැන්නේ ජයග්‍රහණයත් රාජකීය විදුහලට හිමිවිය.

මීට පෙර 2015 දී අවසන් වරට භානුක ගමගේ නායකත්වය යටතේ රාජකීයයන්ට සිංගර් ලීග් රගර් ශූරතාව හිමිවූ අතර මෙවර ඔවුන් විසින් දිනාගනු ලැබුවේ 12 වැනි පාසල් ලීග් රගර් කුසලානයයි.

ඕවින් අස්කේගේ නායකත්වයෙන් මෙවර තරගයට එක්වු රාජකීය විදුහල් පිල ත්‍රිත්ව විදුහලට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් එල්ල කිරිමට සමත්වූ අතර ත්‍රිත්ව විදුහල් පිල රැස් කළේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 2ක් පමණි.

අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් මැද පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 10-5කින් පෙරමුණ ගැනීමට සමත්වූ රාජකීය විදුහල් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ ත්‍රිත්ව විදුහල් පිල දෙවැනි භාගයේදි සිය ප්‍රතිවාදින් අබිබවා යාමට සමත්වූවත් තරගයේ 64 වැනි මිනිත්තුවේ දීත්, 69 වැනි මිනිත්තුවේදී පිට පිට තැබූ උත්සාහක දිනුම් 2කින් තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායම දෙසට හරවා ගැනීමට රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත්වූහ.

අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ රවී කරුණානායක මහත්වරු සමග ශ්‍රී ලංකා පාසල් රගර් සංගමයේ සභාපති සහ රාජකීය විදුහල්පති බී.ඒ. අබේරත්න, ත්‍රිත්ව විදුහල්පති ඇන්ඩෘ ෆවුලර් වොට් සහ පාසල් රගර් සංගමයේ නිලධාරිහු ද මේ තරගය නැරැඹීමට එක්වී සිටියහ.

ලීග් අනුශූරතාව ඉසිපතනයට

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ ලීග් රගර් තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට ඉසිපතන විදුහල් පිල සමත්විය. තරගාවලියේ ශූරයන් තේරීමේ තීරණාත්මක තරගයෙන් රාජකීය විදුහල් පිල හමුවේ පරාජයට පත්වීමත් සමග ත්‍රිත්ව විදුහල් පිල ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයට පත්වූ අතර වෙස්ලි විදුහල් පිල සමග පැවැති තරගය ලකුණු 28-0කින් ජයගනිමින් මෙවර තරගාවලියේ අනුශූරයන් බවට පත්වීමට පසුගිය වසරේ ශූරයන් වූ ඉසිපතනයට හැකිවිය.

හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 8-0කින් පෙරමුණ ගත් ඉසිපතනය තරගය නිමා කළේ උත්සාහක දිනුම් 5ක් සහ දඬුවම් පහරක් සමගිනි. විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ චමෝද් ප්‍රනාන්දු උත්සාහක දිනුම් ද්විත්වයක් තැබීමට සමත්වූ අතර සුමුදු රන්කොත්ගේ, සුධීර ගයනාත් සහ නදීෂ චාමින්ද සෙසු උත්සාහක දිනුම්වලට හිමිකම් කීමට සමත්වූහ. දඬුවම් පහර එල්ල කරනු ලැබුවේ චමෝද් ප්‍රනාන්දු විසිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles