පොලිසියට එරෙහිව මාස 6ට පැමිණිලි 600ක්‌

0
372

මෙම වසරේ (2017) ගතවූ මාස 6 ක කාලය තුළ පොලිස්‌ නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි 600 ක්‌ ලැබී ඇතැයි ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා “දිවයින”ට ඊයේ (9 වැනිදා) පැවැසීය.

එම ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයන් සිදු කෙරෙමින් පවතින බවද හෙතෙම කීය.

පසුගිය වසරේ (2016) පොලිස්‌ නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි 1800 ක්‌ පමණ ලැබී ඇති බවත්, එම පැමිණිලිවලට අදාළ බොහෝ විමර්ශන අවසන් වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම වසරේ (2017) ලැබී ඇති පැමිණිලි අතර වැඩි වශයෙන් ඇත්තේ ජනතාව විසින් කළ පැමිණිලි නිසියාකාරව විභාග නොකිරීම හා පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීම පොලිස්‌ පහරදීම් සම්බන්ධයෙන් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ අල්ලස්‌ ලබාගත් පොලිස්‌ නිලධාරීන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.

පසුගිය වසරේ අල්ලස්‌ ලබාගත් පොලිස්‌ නිලධාරීන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැනටමත් එම නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here