Monday, September 23, 2024

කරාපිටිය ‘මානසික වාට්ටුවට’ ගෙන ආ අසාමාන්‍ය රෝගියා

පසුගිය දිනක ගාල්ල දිස්ත්‍රිකයේ රෝහලකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත රෝගියෙකු මාරු කර එවා තිබුණි. උණ රෝගයෙන් පෙළීම නිසා මුල්  රෝහලට ඇතුල් කරනු ලැබූ ඔහු උණ විකාරයෙන් අසාමාන්‍ය දේවල් කියැවීමට පටන් ගත් බවත් උණ සුව වූ පසුවත් ඒ අසාමාන්‍ය කියැවීම නතර නොවූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ ‍මනෝ වෛද්‍ය ඒකකය වෙත මාරු කරන ලද බවත් ඔහුගේ රෝග විනිශ්චය පතෙහි සටහන් ව තිබුණි.

ඔහු අත්කොට ජාතික බැනියමකින් සහ සුදු සරමකින් සැරසී සිටි මැදිවිය ඉක්මවූ ගැමියෙකි.

“මම එක රසායනික ද්‍රව්‍යයක් සොයාගෙන තියෙනවා. ඒ රසායනිකයෙන් ටිකක් බිත්ති වලට අදින පොටි වලට කවලම් කළාම ඒ පොටි දීප්තිමත් සුදු පාටක් ගන්නවා.  ඊට පස්සේ ඒවා සුදු තීන්ත වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඔය චෙත්‍ය වලට එහෙම නොම්බර එකට ගැලපෙනවා. අපි මේ විදිහට  හදපු ‍පොටි තීන්ත විදිහට දැනට කඩවල්වලට දානවා. මේක හරියට කළොත් එක දවසකට රුපියල් ලක්ෂ හතරක් පහක් හොයන්න පුළුවන්.” ඔහු  වාට්ටුවේදී මනෝ වෛද්‍යවරුන් හා කීය.

“අපේ රටේ ඔය කැළි කසළ ප්‍රශ්නයට ඔච්චර නහින්න ඕන නෑ. ඕකට හොඳ විසදුමක් මගෙ ළඟ තියෙනවා. මම දවසක් (පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආහතනයකි) ට ගිහින් ඔය කාරණය කිව්වා. නමුත් අන්තිම මොහොතේ ඒ මම කියපු කාරණා ඒ චැනල් එකේ ප්‍රචාරය ‍කළේ නෑ. පස්සෙයි දැනගත්තේ ඒ ආයතනයත් කසළ වලින් කෝටි ගණන් සල්ලි හොයන අයගෙ පැත්තෙ ඉන්නෙ කියලා.”

සාමාන්‍යයෙන් මෙබඳු පමණට වඩා අතිශෝක්තියෙන් කතා කිරීම මානසික රෝග කිහිපයක ලක්ෂණයකි. ක්ෂිප්තතාව  (Mania) මෝහාබාධ (Delusional Disorder) ඒ අතරින් ප්‍රධාන රෝග දෙකකි. ඊට අමතරව උණ රෝගයේ අතුරුඵළයක් ලෙස මොළයට සිදුවිය හැකි හානි නිසා ද ක්ෂිප්තතාව හටගැනීමෙන් යමෙකුගේ අදහස් මෙලෙස අසාමාන්‍ය වීමට පුළුවන.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ අවධානය මෙම කරුණු කිහිපය වෙත යොමු වූ මුත් ඉන් එක් රෝගයක්  මුල්කොට හෝ පැහැදිලි විනිශ්චයක් කළ නොහැකි  වූ බැවින් ප්‍රතිකාර නියම කිරීමක් ද සිදු නොවුණි.

ඔහු බැලීමට ඔහුගේ තරුණ පුතු රෝහලට පැමිණියේ ඊට දෙදිනකට පසුවය. ඔහු උසස් අධ්‍යාපනයේ යෙදෙන්නෙකි. විශේෂඥ මනෝ වෛද්‍යවරයා එම තරුණයාගෙන් ඔහුගේ පියාගේ මෙම අසාමාන්‍ය ප්‍රකාශ පිළිබඳව විමසා සිටියේය.

“තාත්තා කියන්නේ ඇත්ත. දැනට තාත්තා එහෙම ව්‍යාපාරයක් කරනවා. කසළ ප්‍රශ්නෙ ගැනත් තාත්තා ඔය කියන්නේ  සම්පූර්ණ ඇත්ත. ඒත් තාත්තාගෙ ඇඳුමයි පෙනුමයි නිසා කාටවත් තාත්තා එහෙම කෙනෙක් කියලා කියන්න බැහැ.”තරුණ පුතු කීය.

එබැවින් ඔහුට කිසිම මානසික රෝගයක් නැතැයි නිගමනය කළ විශේෂඥ  මනෝ වෛද්‍යවරයා ටිකට් කපා ඔහුට එදිනම ගෙදර යාමට ඉඩ දුන්නහ. lakbima

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles