ඇමෙරිකා-කටාර් ගිවිසුමක්

0
392

ත්‍රස්තවාදයට ‘අනුග්‍රහය’ දක්වනවා යැයි කටාර් රාජ්‍යයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, කටාර් රාජ්‍යය සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට ඇමෙරිකාව කටයුතු කළේය.

ඇමෙරිකාව වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුවේ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ය. කටාරය නියෝජනය කළේ විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල් රහ්මාන් අල් තානීය.

මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ කටාර් රාජ්‍යයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හටගත් අර්බුදය විසඳීමය.

කටාර් අර්බුදයට කඩිනමින් විසඳුමක් දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යුහුසුළු වෙයි. ඔහු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඒ සඳහා යොදවා ඇත්තේ ද එහෙයිනි.

චෝදනා එල්ල වුවත් ගල්ෆ් කලාපීය ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඇමෙරිකාවේ සමීපතම සගයකු වන්නේ ද කටාර් රාජ්‍යයයි.
කටාරය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති ගල්ෆ් කලාපීය රටවල් වන සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව පවසන්නේ ඇමෙරිකාව සහ කටාර් රාජ්‍යය අතර අත්සන් තැබුණු එම ගිවිසුම ප්‍රමාණවත් නොවන බවටය. කටාර් රාජ්‍යය ගැන විශ්වාසය තැබිය නොහැකි යැයි සෞදිය පෙන්වා දෙයි.

ගල්ෆ් කලාපීය රටවල් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ තමන් කටාරයට ඉදිරිපත් කළ කොන්දේසිවලට එකඟ නොවුණු හෙයින්, ‘සම්බාධක’ තර කිරීම දිගටම සිදු කරන බවය.

සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත් කළ එම කොන්දේසි ‘යථාර්ථවාදී’ නොවන බවට කටාරය දිගින් දිගටම චෝදනා කරයි.
කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් චෝදනා කරන්නේ කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි. කටාරය ඉරානය සහ තුර්කිය සමඟ සමීපව කටයුතු කිරීම පවා සෞදියේ උදහසට හේතුවක් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here