යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වන්නි විශ්වවිද්‍යාලය ලෙස නම් කොට වෙනම විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට සියලූ කටයුතු සූදානම් කොට ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා අද (17) වවුනියාවේදී එලෙස පැවසූයේ යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් පම්පමඩුව පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
වසර 25 කාලයක් යාපනය විශ්වවිද්‍යාලය යටතේ වව්නියාව මණ්ඩපයෙහි ව්‍යවහාරික ගණිතය හා කළමනාකරණ පීඨය අධ්‍යයනකටයුතු සිදුකෙරිණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවා. මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කළ යුතුයි කියා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කථිකාචාර්ය ඒ මංගලේෂ්වරන් මහතාද ඉල්ලිම් කරනු ලැබුවා. ඒ පිළිබඳ අවධානය යොමුකළ අප කැබිනට් මණ්ඩලයේද අනුමැතිය යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ කොටසක්වූ වවුනියාව විශ්වවිද්‍යාල මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වා ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට සැලසුම් යොදා තිබෙනවා.
වව්නියාව විශ්වවිද්‍යාල මණ්ඩපය විශ්වවිද්‍යාලයක් ලෙස පත්කරන්න සියලූ අනුමැති ලබාගෙන අවසන්. මේ වන විට විශ්වවිද්‍යාල කොමිසන් සභාවට යොමුකොට තිබෙනවා ඉදිරි වැඩකටයුතු සඳහා එම සියලූ කටයුතු ඉතා ඉක්මනින් සිදුවේවි.
විශ්වවිද්‍යාලයක් බවට පත්කරන්න නීත්‍යනුකූල ගැටළු කිහිපයක් පමණයි ඉතිරිවී තිබෙන්නේ එය අපට නිරාකරණය කරන්න පුළුවන්. මේ වන විට විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් කටයුතුද අවසන් වෙමින් පවතින අතර වන්නි විශ්වවිද්‍යාලය සියලූ පහසුකම් සහිතව විශ්වවිද්‍යාලයක් බවට නුදුරේම පත්කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.