Thursday, October 31, 2024

අපේ පවුලේ දේපළ කිසිවක් රාජසන්තක කර නෑ

ආණ්ඩුවේ දූෂණ හෙළිවීමෙන් ඇති වූ අපකීර්තිය වසා ගැනීමට අසාර්ථක උත්සාහයක් දරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවා ප්‍රශ්න  කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්නය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස් කරනු ලැබුවේ මන්ද යන්නයි.

මේ ජීප් රථය භාවිතා කොට තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ වලටය. මගේ බිරිඳ සීඅයිඩීයට දැනුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිහරණය කරන වාහනවල නඩත්තුව හෝ අලුත් වැඩියා කටයුතු  ගැන ඇය කිසිවක් නොදන්නා බවයි. මේ කාරණය ගැන මගේ පුත් යෝෂිතගෙන්ද පසුගිය බදාඳා සීඅයිඩීය ප්‍රකාශයක් ලබා ගත්තේය. ඔහුගෙන් අසා තිබුණේ ඔහු මේ වාහනයේ පාට වෙනස් කිරීමට කාහට හෝ උපදෙස් දුන්නාද යන්නයි. මෙයට යෝෂිත දුන් පිළිතුර වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන නඩත්තු කරන්නේත් අලුත්වැඩියා කරන්නේත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශය බවයි. මෙකී වාහනය ඔහුගේ ආරක්ෂක භටයන් විසින් පාවිච්චි කළේද යන පැනයට ඔහු දී තිබූ පිළිතුර වූයේ තම ආරක්ෂනකයන්ට වාහන ලබා දෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් මිස තමා නොවන බවයි.

පසුගිය අඟහරුවාදා මුල් වරට මගේ බාලම පුත් රෝහිත ද මූග්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්න කරන ලදී. ඔහුගෙන් අසා තිබුණු ප්‍රශ්නය වූයේ ලංකාවේ මුල් වරට සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවූ ‘සුප්‍රීම් සැට්’ නැමති සමාගමේ ඔහුට කොටස් හිමිකාරිත්වයක් තිබෙනවාද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා තිබුණේ ඔහුට සුප්‍රීම් සැට් සමාගමේ ඍජු හෝ වක්‍ර කොටස් අයිතියක් නැති බවත්, ඔහු 2012 ජුලි මාසයේ සිට 2014 ජුලි මාසය දක්වා එකී සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ 2  හැටියට වැටුප් ලබන සේවකයෙකු වූ බවය.

2014 ජුලි මාසයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු එම රැකියාවෙන් ඉවත් විය. මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇසූ තවත් පැනයක් වූයේ සුප්‍රීම් සැට් සමාගමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ඔහු උදව් කළේද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා සිටියේ ඔහු 2012 මේ සමාගමට බැඳෙන අවස්ථාව වන විට ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර සියල්ල ලබාගෙන තිබුණු බවත්, ඔහුට සුප්‍රීම් සැට් සමාගම හඳුන්වා දුන්නේ තරුණ උපාධිධාරීන් තම සමාගමට බඳවා ගැනීම සඳහා එංගලන්තයේ සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයට පැමිණි චීන ව්‍යාපාරිකයෙකු විසින් බවයි.

බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ඉංජිනේරු පාඨමාලාවක් පවත්වාගෙන යන එකම විශ්වවිදයාලය සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයයි. 2012 දී මේ පාඨමාලාව සම්පූර්ණ කළ උපාධිධාරීන් හත්දෙනෙකු වූ අතර මගේ පුත් රෝහිතද ඒ අතර විය. 2012 දී සුප්‍රීම් සැට් ආයතනයද හවුල්ව අභ්‍යවකාශ ගත කරනු ලැබූ චන්ද්‍රිකාව අයත් වන්නේ චීන ආණ්ඩුවටයි. මේ චන්ද්‍රිකාවේ ඇති ට්‍රාන්ස්පොන්ඩර් සන්නිවේදන  පද්ධති 36 න් 6 ක් සුප්‍රීම් සැට් ආයතනය විසින් අවුරුදු 12 කට බදු පදනම මත අරගෙන ඇත. ලංකාවේ ගැනුම් කරුවන්ට සන්නිවේදන සේවා ලබාදීම මේ සමාගමේ අරමුණයි.මෙම සමාගමේ ප්‍රධාන ආයෝජකයා සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව මට දැනගන්නට ලැබී ඇත.

මේ සතියේ ජනතාව දුටුවේ මමත් මගේ පවුලටත් සමස්ත විපක්ෂපයටත් එරෙහිව යමපාලකයන් ගෙන යන ප්‍රචාරක සංග්‍රමයේ තවත් අදියරකි. මගේ පවුලේ සාමාජිකයන්ට නොයෙක් පොලිස් විමර්ශන ඒකක ඉදිරියේ පෙනී සිටීමට ලිපි නිකුත් කෙරේ. ඉන්පසු මොවුන් මෙසේ ගෙන්වන්නේ තාජුදීන්ගේ මරණය ගැන විමර්ශනය කිරීමට යැයි පොලීසිය විසින් මාධ්‍යයට ඉඟිකරයි. යමපාලන ආණ්ඩුවට වැදගත් වන්නේ පොලීසිය ලබා ගන්නා කට උත්තර වල අන්තර්ගතය නොව තාජුදීන් සම්බන්ධයෙන් මගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමට යන බවට පලවන මාධ්‍ය වාර්තාය.

මගේ බාලම පුත් රෝහිත මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවූ විට යමපාලනයට පක්ෂාපාත වෙබ් අඩවි පවසා සිටියේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට මගේ ආණ්ඩුව රුපියල් මිලියන සිය ගණනක් වියදම් කර තිබුණු බවයි. නමුත් සුප්‍රීම් සැට් නැමති මේ චන්ද්‍රිකා තාක්ෂණ ආයතනය සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුවට කිසිදු සම්බන්ධයක් නැත. සීඅයිඩීයත් මූල්‍ය අපරාධ කොට්ඨාශයත් ආණ්ඩුව සමඟ මේ මාධ්‍ය මෙහෙයුමේ සිටී. පසුගිය බදාඳා යෝෂිත සීඅයිඩීයට කට උත්තරය දී විනාඩි ගානකට පසු ඔහුගෙන් ඇසුවායැයි කියන ප්‍රශ්න පිළිබඳ වාර්තාවක් යමපාලන වෙබ් අඩවියක පලවිය.

යමපාලන ආණ්ඩුවේ මහාපරිමාණ වංචා හා දූෂණ ඉතාමත්ම අනපේක්ෂිඅත හා විචිත්‍රවත් ලෙස හෙළිවෙද්දී මගේ පවුලේ සාමාජිකයන් සීඅයිඩීයට හා මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙන්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. රාජපක්ෂීවරුන්ට අදාළ නඩු ඇසීමට විශේෂ උසාවි පිහිටුවන බවට මොවුන් දැන් කරන ප්‍රකාශ වලින් ඔවුන් කලබල වී තිබෙන තරම මනාවට පැහැදිලි වෙයි.

මේ යෝජනාව ව්‍යවස්ථාවේ, නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීමේ මූලධර්මයටත්, නිර්දෝශීබවේ පූර්ව නිගමනය යන මූලධර්මයටත් පටහැනිය. මෙවැනි විශේෂ උසාවියක් පිහිටවූවත් මේ උසාවියට ඉදිරිපත් කරන සාක්ෂි මොනවාද? යමපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මගේ පවුලේ සාමාජිකයන්ට අයත් කෝටි 500 කට අධික වටිනාකමක් ඇති දේපොල උසාවි හෝ ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බව ආණ්ඩුව පවසා ඇත. මෙය අමූලික බොරුවකි.

මගේ පවුලේ සාමාජිකයෙක්ට අයත් කිසිදු දේපලක් රජය විසින් හෝ උසාවියක් විසින් රාජසන්තක කොට නැත. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ වෙනත් පුද්ගලයන්ට අයිති දේපල අපට අයිති දේපල හැටියට හුවා දැක්වීමටය. මේ ක්‍රියාදාමයේ දී ඔවුන් ඇතැම් පුද්ගලයන්ට බරපතළ පීඩා පමුණුවා ඇත. මගේ පවුලේ කිසිදු සාමාජිකයෙකු සතුව, ලැබුණේ කෙසේදැයි විස්තර කළ නොහැකි චංචල හෝ නිශ්චල දේපල කිසිවක් කවුරුත් සොයාගෙන නැත. එවැනි දේපල ඇත්තේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට බව මුලු රටම දනී. මීට පෙර පැවති කිසිදු ආණ්ඩුවක් මේ යමපාලන ආණ්ඩුව මෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ ආකාරයට හිරිහැර කර නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles