Tuesday, September 24, 2024

ලලිත් – අනූෂ නිදහස්!

සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර  තිබේ.

අදාළ නඩුව අද(20) කැඳවූ අවස්ථාවේ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස්.උදය කුමාර් සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට මහාධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර  අධිකරණයට බාරදෙන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

බන්ධනාගර නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා මහාධිකරණය වෙත රැගෙන ආ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි  බෙදාහැරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදලක් යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් බවට කොළඹ මහාධිකරණය පසුගියදා තීන්දු කළේය.

ඒ අනුව ඔවුන්ට වසර 3ක සිරදඞුවම් සහ රුපියල් ලක්ෂ 20 බැඟින් දඩ මුදලක් නියම කළ අතර ලබන 20 වැනිදාට පෙර විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැඟින් වන්දි ගෙවිය යුතු බවට ද විනිසුරුවරයා නියෝග කර තිබුණි.

එම දඬුවමට එරෙහිව ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන අයගේ නීතිඥවරුන් විසින් පසුගියදා කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ඔවුන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඇප පෙත්සම් පසුගිය 14 වනදා කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් අද දිනයේ  අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස මහාධිකරණය විසින් නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

ඒ අනුව අද දිනයේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ කොළඹ මහ අධිකරණය විසින් ඔවුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles